batalanda-bridge-washed-away-amid-heavy-rainfall

ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ගුරුසිංහගොඩ ග්‍රාම සේවා වසමේ බටලන්ද ගම්මානයට අයත් එගොඩවතුරාව සහ පත්තිනිවත්ත ප්‍රදේශ යා කෙරෙන තාවකාලික පාලම ගංවතුරට ගසාගෙන ගොස් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. පැරණි විදුලි කණු මත කිතුල් පටි අතුරා ආරක්ෂිත ඇන්දක් සහිතව සකස් කර තිබූ මෙම පාලමේ ඇන්ද සහ කිතුල් පටි කොටස් ජල පහරට හසුව ගලවාගෙන ගොස් ඇති අතර, වර්තමානයේ එහි ඉතිරිව ඇත්තේ විදුලි කණු කිහිපය පමණි.




දෙනියවත්ත, කංකානම්ගොඩ, කළුබෙන්දුව, සූරි ඇල සහ ගුරුසිංහගොඩ යන වෙල්යායන්ගෙන් වටවී දූපතක් මෙන් පිහිටි බටලන්ද ගම්මානයේ එගොඩවතුරාව ප්‍රදේශයට පිවිසීමට ඇති එකම මාර්ගය අහුරාලීම නිසා පවුල් 18 කට අයත් සියයකට අධික පිරිසක් දැඩි අසරණභාවයට පත්ව සිටිති. ප්‍රවාහන කටයුතු සඳහා ගම්වැසියන් දැනට භාවිතා කරන්නේ සිලින්ඩරයක් යොදා තාවකාලිකව සකස් කළ අතිශය අනතුරුදායක ස්ථානයක් වන අතර, ගිං ගඟේ අතු ඇලක් වන මෙහි ජල පහර සැර වන විට එම ස්ථානයද ගසාගෙන යාමේ දැඩි අවදානමක් මතුව ඇත.

පාලම අබලන්ව වසර 12 කට වැඩි කාලයක් ගතවී ඇති අතර, පවතින තත්ත්වය හමුවේ පැරණි විදුලි කණු 3 වෙනුවට ස්ථිර ආරක්ෂිත පාලමක් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මෙම ස්ථානයට පාලමක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජී. එච්. නිහාල් ගුණසිංහ මහතා දේශපාලන නායකයින් වෙත අවස්ථා කිහිපයකදීම ලිඛිතව ඉල්ලීම් කර ඇති අතර, 2020 වසරේ රමේෂ් පතිරණ මහතා අමාත්‍ය ධූරය දරද්දී යොමු කළ ලිපියකට යහපත් ප්‍රතිචාරයක් ලෙස පාලම පිළිබඳ බලාපොරොත්තුවක්ද ඇතිව තිබුණි.




තමන් උපන් දා සිට මෙම ගමේ පදිංචිව සිටින බව පවසන 57 හැවිරිදි දෙදරු පියෙකු වන සමන් පාලිත මහතා සඳහන් කරන්නේ පාලමේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම ගිලා බැස ඇති බැවින් දියේ බැස එගොඩ මෙගොඩ වීමට සිදුව ඇති බවයි. ගම්මානයේ පාසල් යන දරුවන් 20 කට වැඩි පිරිසක් සහ වැඩිහිටියන් 12 දෙනෙකු වෙසෙන බවත්, සුළු වර්ෂාවකදී පවා ගමනාගමනය නතර වන බැවින් ජීවිත හානියක් සිදුවීමට පෙර අඩි 15 ක් පමණ පළල් වූ මෙම මාර්ගයට ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙසත් දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන 39 හැවිරිදි සම්පත් කුමාර මහතා ඉල්ලා සිටියි. එමෙන්ම පෞද්ගලික ආයතන සේවිකාවක වන 32 හැවිරිදි හංසනී රදීකා මහත්මිය පෙන්වා දෙන්නේ පැයක වර්ෂාවකින් පවා මුළු ගමම කොටුවන අතර, හදිසි අසනීපයකදී රෝගියෙකු රෝහලට ගෙනයාමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් තමන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ජයකාන්ත ලියනගේ - බළපිටිය

batalanda-bridge-washed-away-amid-heavy-rainfall

batalanda-bridge-washed-away-amid-heavy-rainfall

batalanda-bridge-washed-away-amid-heavy-rainfall

batalanda-bridge-washed-away-amid-heavy-rainfall