සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස්මල්ලි' නමැත්තාගේ සමීපතම ඥාතියෙකු වූ දමිත් ප්‍රසාද් ෆොන්සේකා හෙවත් 'භූත කළුවා' නැමැත්තා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. එම විමර්ශන කණ්ඩායම විසින් සිදුකරන ලද වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක්, කඩු 4ක් ඇතුළු තියුණු ආයුධ රැසක් සහ ජංගම දුරකථන 4ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 7 වැනිදා අලුයම 1.45ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක්, දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි 46 හැවිරිදි දමිත් ප්‍රසාද් ෆොන්සේකා නැමැත්තා සිටි නිවසේ දොර කඩා ඇතුළු වී තිබේ. පසුව ඇඳ මත නිදා සිටි ඔහුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර අපරාධකරුවන් පලාගොස් ඇත. මියගිය පුද්ගලයා 'කොස්මල්ලි' සමඟ වසර කිහිපයක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර, එහිදී අංශභාග රෝගී තත්ත්වයට පත්වීමෙන් පසු මීට සති කිහිපයකට පෙර යළි දිවයිනට පැමිණි අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුගේ ඡායාරූපයක් ආරක්ෂිත කැමරා දර්ශන ආධාරයෙන් ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යොමුකර ඇත. එම ඡායාරූපයේ සිටින පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අඟලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට සියයට 65ක පමණ සමානකමක් දක්වන බවට ලැබුණු තොරතුරු මත අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සඳහා තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සම්බන්ධ වූ බවට තොරතුරු හෙළි කරගැනීමට පොලීසියට හැකි විය.
එම පිරිස අතර දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'සැන්ඩෝ' නැමැත්තාගේ ප්‍රධානම ගෝලයා වන තෙලවල නිවාස සංකීර්ණයේ පදිංචි 'සංජු' නමැත්තා ද සිටින බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් එම සැකකරුගේ නිවස පිටුපස කැලෑවක තිබී ඝාතනයට යොදාගත් විශාල ප්‍රමාණයේ කඩු 3ක්, පාපැදි කොක්ග්‍රීල් එකක් සහ අපරාධ කල්ලි සාමාජිකයන් විසින් නිර්මාණය කරන ලද තියුණු ආයුධයක් ද සොයාගෙන තිබේ. තවද, කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000ක මුදලකට කුලියට ගත් ත්‍රීරෝද රථයකට ව්‍යාජ අංක තහඩුවක් සවිකර අපරාධය සඳහා පැමිණ ඇති බවත්, එම රථය පදවාගෙන ආ තෙලවල ප්‍රදේශයේ පදිංචිකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවත් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි විය.
අපරාධයට යොදාගත් ත්‍රීරෝද රථය සොයාගැනීමට සහ සිද්ධියට සම්බන්ධ බව කියන සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි. මෙම මුළු විමර්ශන මෙහෙයුම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදුකරනු ලබයි.
