මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කතරගම දේවාලය නියෝජනය කරමින් අලංකාර ලෙස නර්තන විලාසයෙන් ගමන් කර ජනතා අවධානය දිනාගත් මාවනැල්ලේ ගනේතැන්නේ සුදුමැණිකේ හස්තියා පිළිබඳව පසුගියදා සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වූයේ සිව්වන රන්දෝලි පෙරහැර පැවැති දින සිදුවූ අපූර්ව පුවතක් මුල් කරගනිමිනි. එදින තේ පානය කර නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේදී, දළදා වීදිය සහ යටිනුවර වීදිය මංසන්ධියේ පිහිටි පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් ඇත්ගොව්වා සතුව තිබූ ගස් කපන පිහිය පිළිබඳව ප්‍රශ්න කර ඇත.
අනතුරුව එම පිහිය මෙන්ම පෙරහැර වෙනුවෙන් ලබාදී තිබූ අවසරපත්‍රය ද පොලිස් භාරයට ගත් නිලධාරීන්, ඒවා නැවත ලබාගැනීමට නම් අලියා ද පොලිස් මුරපොළ වෙත කැඳවාගෙන එන ලෙස නියෝග කර තිබේ.එම නියෝගයට අනුව ඇත්ගොව් පැතුම් විසින් සුදුමැණිකේ හස්තියා පොලිස් මුරපොළ අභියසට කැඳවාගෙන ආවේ පෙරහැර නැරඹීමට පැමිණ සිටි මහා ජනකායක් මවිතයට පත් කරමිනි. සාමාන්‍ය ගමනට වඩා වේගයෙන් පැමිණි සුදුමැණිකේ, මුරපොළ තුළ තිබූ මේසය අසලටම කැඳවාගෙන යාමෙන් පසුව, එම අවස්ථාව සජීවීව දැකබලා ගත් පොලිස් නිලධාරීන් විසින් ඇත්ගොව්වාගේ හැඳුනුම්පත සහ පිහිය නැවත ලබාදීමට පියවර ගෙන ඇත. මෙම සිදුවීම කැමරාවල සටහන් වී සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ විශාල ජනප්‍රියතාවක් ලබාගනිමින් තවමත් සංසරණය වෙමින් පවතී.
මෙම සිදුවීම පිටුපස ඇති පවුල් පසුබිම ද එකසේම අවධානයට ලක්විය යුත්තකි. ශ්‍රී ලංකාවේ දැනට සිටින උසම හස්තියා මෙන්ම වයස අවුරුදු 18ක් වන සුදුමැණිකේගේ හිමිකාරීත්වය දරන්නේ දිවයිනේ ළාබාලතම හස්ති හිමිකාරිය වන 20 හැවිරිදි මීෂා මිරිහැල්ල තරුණිය සහ ඇගේ මව වන දර්ශනි මිරිහැල්ල විසිනි. මොවුන් සතු 58 හැවිරිදි රාමා හස්තියා ලංකාවේ විශාලතම හස්තියා ලෙස සැලකේ. මීට මාස 8කට ඉහතදී හදිසි රෝගී තත්ත්වයකින් මියගිය බුද්ධික මිරිහැල්ල මහතාගේ නමට හස්තීන්ගේ අයිතිය තවමත් පැවතුණ ද, ඔහුගේ වියෝවෙන් පසුව මීෂා, ඇගේ මව සහ ළාබාල බාල සොහොයුරියන් දෙදෙනා එකතුව මෙම සංස්කෘතික කටයුතු හා පෙරහැර මංගල්‍යයන් සඳහා හස්තීන් යොමු කිරීමේ වගකීම ඉටු කරති.
තමාට වඩා වසර දෙකක් බාල සුදුමැණිකේ කුඩා කල සිටම පවුලේ සාමාජිකයෙකු මෙන් හැදී වැඩුණු බව මීෂා මිරිහැල්ල පවසන්නීය. නිවසේ සිටින දිනවල උදෑසන කිරි තේ එකක් නිවා දීම සුදුමැණිකේ බෙහෙවින් ප්‍රිය කරන අතර, රාමාට වඩා සුදුමැණිකේ පවුලේ අය සමඟ දැඩි ලෙස එකතු වී සිටී. පරම්පරා ගණනාවක සිට අලි ඇතුන් පාලනය කළ ද කිසිවිටෙකත් එය ප්‍රසිද්ධියට කරුණක් කර නොගත් බවත්, මෙම සිදුවීමත් සමඟ ලැබුණු ජනප්‍රියතාව පිළිබඳව නිහතමානී සතුටක් පවතින බවත් ඇය සඳහන් කළාය.
මොවුන් යටතේ සිටින රාමා හස්තියාගේ ද විශේෂත්වයක් පවතී. වර්තමානයේ හීලෑ අලි ඇතුන් අතරින් පෙරහැර මංගල්‍යයන් සඳහා පාගමනින්ම ගමන් කරන එකම හස්තියා රාමා වන අතර, මෙවර නුවර පෙරහැරට ද ගොස් ඇත්තේ පාගමනිනි. පෙර වසරවල ඇසළ මාසයට හස්තියාගේ මඳ කාලය යෙදීම නිසා වසර 35කට පමණ පසුව මෙවර නුවර පෙරහැරට සහභාගී වීමට රාමාට අවස්ථාව හිමිව තිබේ. මෙවර මඳ කාලය කලින්ම ගෙවී යාම ඊට හේතුවයි.
සුදුමැණිකේගේ වයසේම පසුවන, මීෂාගේ 18 හැවිරිදි බාල සොහොයුරිය වන කවීෂා මිරිහැල්ල ප්‍රකාශ කළේ තම පියාගේ වියෝවෙන් පසුව සුදුමැණිකේ දැඩි ලෙස සංවේදී වූ බවයි. පියාගේ දේහය දෙස බලා ඇස්වලින් කඳුළු සලමින් දුක්වූ සුදුමැණිකේ දින ගණනාවක් නිසි ලෙස ආහාර පවා ලබාගෙන නොමැත. අදටත් ජංගම දුරකථනයකින් පියාගේ හඬ ඇසුණහොත් සුදුමැණිකේ නිසොල්මනේ දුක්වන බැවින්, පියාගේ ඡායාරූප පවා ඇයට පෙන්වීමෙන් පවුලේ අය වැළකී සිටිති. රාමා හස්තියා නුවර පෙරහැරට සම්බන්ධ කිරීම පියාගේ ලොකු සිහිනයක් වූ අතර, පියා නැති වුවද මෙවර සුදුමැණිකේ සහ රාමා පෙරහැරේ ගමන් කරන අයුරු බලන්නට ඔවුන් එක්ව ගොස් ඇත. නර්තනයේ යෙදෙමින් යන අතරතුර පවුලේ අය සිටින තැන දුටු සැණින් සුදුමැණිකේ හොඬවැලෙන් සංඥා කරමින් ළෙන්ගතුකම පෙන්වන බව කවීෂා වැඩිදුරටත් පැවසුවාය.
නුවර පෙරහැර නිමවීමෙන් පසුව සුදුමැණිකේ මෙදිනවල විල්බාව පෙරහැර සඳහා සහභාගී වී සිටින අතර, රාමා මෙන් නොව සුදුමැණිකේ පෙරහැර සඳහා ප්‍රවාහනය කරනු ලබන්නේ වාහනයකිනි. මේ වන විට මාවනැල්ලේ පිහිටි මිරිහැල්ල නිවසේ මෙම හස්තීන් දෙදෙනා වෙනුවෙන් ඇත්ගොව්වන් සිව්දෙනෙකු සේවයේ යෙදෙන අතර, සුදුමැණිකේ කුඩා කාලයේ සිටම බලාගනු ලබන්නේ පැතුම් අලිබාසුන්නැහේ විසිනි.