horana-necklace-breaking-gang-caught-with-2-million-goods

මහමඟ ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් ද සමඟ පසුගිය 31 වැනිදා අත්අඩංගුවට ගැනීමට හොරණ මූලස්ථාන පොලීසිය සමත් වී තිබේ. මෙම සැකකරුවන්ට අමතරව අදාළ අපරාධ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත කාන්තාවන් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.




මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුරුවාතොට, නාර්තුපාන සහ හොරණ, බැල්ලපිටිය, අක්කර 35 ප්‍රදේශයේ පදිංචි 23 සහ 25 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. ඔවුන් සමඟ අත්අඩංගුවට පත් වූ අනෙක් කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 50 සහ 55 පසුවන එම සැකකරුවන්ගේ මව සහ නැන්දා බවට හඳුනාගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එක් අයෙකු සොරාගත් රන් මාලයක් ගිල දමා ඇති අතර, පසුව ඔහුව රෝහල්ගත කර සිදුකළ ස්කෑන් පරීක්ෂණයකින් ඒ බව සනාථ වී ඇත. එම ස්වර්ණාභරණය නැවත ලබාගැනීම සඳහා පොලීසිය මේ වන විට අවශ්‍ය කටයුතු යොදමින් සිටී.




පසුගිය 25 වැනිදා සිට සතියක කාලයක් පුරා හොරණ, වැලිකල, බටුවිට, දික්හේන සහ උඩවත්ත පාර යන ප්‍රදේශවල මෙම කොල්ලකෑම් සිදුකර ඇති අතර, ගර්භණී මවකගේ ද රන් මාලයක් මොවුන් විසින් පැහැරගෙන තිබේ. යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු සවි කර ප්‍රදේශය පුරා සැරිසරමින් ජනතාව භීතියට පත් කළ මෙම කල්ලිය මොරගහහේන ප්‍රදේශයේදී සිදුකළ කොල්ලකෑම් උත්සාහයන් දෙකක් අසාර්ථක වී ඇත. සොරාගත් රන් භාණ්ඩ සිය මව්වරුන් ලවා උකස් කර උපයාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදි දෙකක් සහ අපරාධ සඳහා භාවිත කළ යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් සැරයන් (14934) ජනක නිලධාරියාට ලැබුණු රහස් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂක රංග දිසානායක, උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ, පොලිස් සැරයන්වරුන් වන ජනක (14934), මෙන්ඩිස් (70153) සහ පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (78834) හා ළහිරු (13022) යන නිලධාරීහු මෙම විමර්ශනය සිදු කළහ.