පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ. ඒ අනුව එළඹෙන 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අදාළ නොතිසිය නිකුත් කරනු ලැබීය.
සුරේෂ් සලේ මහතා තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු ද නැද්ද යන්න පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණය මීට පෙර පියවර ගෙන තිබුණි. නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ, අදාළ සැකකරු මේ වන විට දින 100ක කාලයක් තිස්සේ රෝහල්ගතව පසුවන බවයි. එමෙන්ම, වෛද්‍ය වාර්තා අධිකරණයට ලබා දෙන බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම ප්‍රතික්ෂේප කළ රෝහල් අධ්‍යක්ෂවරයා, නියමිත දිනයේදී පවා ඒවා අධිකරණයට භාර නොදීම පිටුපස ඇති අපහසුතාව කුමක්දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මෙය තනිකරම වෛද්‍ය කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වා දුන්නේය.
අදාළ නඩු වාරයේදී සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට යොමු කෙරිණි. එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් විසින් සිද්ධියට අදාළ විමර්ශනවල වර්තමාන ප්‍රගතිය දක්වන වාර්තාවක් ද අධිකරණය හමුවට තබන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, රෝහල් අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, මෙම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද එළඹෙන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
