නව ජලභීතිකා මර්දන සහ සුනඛ ලියාපදිංචි කිරීමේ පනත මගින් කිසිදු අලුත් "සුනඛ බද්දක්" පනවා නොමැති අතර, මගී සුනඛයන්ට ආහාර ලබා දෙන පුද්ගලයන් සිරගත කිරීමට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බව පශු වෛද්‍ය සහ සත්ව සුබසාධන සන්ධානය පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් එම සන්ධානයේ විධායක සභික පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු හේතුවෙන් මහජනතාව අනවශ්‍ය ලෙස තැතිගැන්මට ලක්ව ඇති බවයි.
පළාත් පාලන ආයතන හරහා සුනඛයන් ලියාපදිංචි කිරීම දැනටමත් සුළු ගාස්තුවකට සිදුවන ක්‍රියාවලියක් මිස මෙම පනතින් හඳුන්වා දුන් අලුත් දෙයක් නොවන බව ඒ මහතා පෙන්වා දුන්නේය. දැනටත් කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේදී ඒ සඳහා රුපියල් 100 ක මුදලක් සහ අනුරාධපුර ප්‍රදේශයේදී රුපියල් 300 ක මුදලක් අය කෙරේ. ජනතාවට තමන්ගේ රැකියාවලින් බැහැරව පළාත් පාලන ආයතන වෙත පැමිණීමට සිදුවන අපහසුතාව වැළැක්වීමට, ගම්මට්ටමින් නොමිලේ ක්‍රියාත්මක කෙරෙන ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන් සමඟම මෙම ලියාපදිංචි කිරීම් සිදු කිරීමටද සැලසුම් කර ඇත.
යම් අයෙකු මගී සුනඛයෙකුට එක් වරක් හෝ ඉඳහිට ආහාර ලබා දුන් පමණින් එම සත්වයාගේ නීත්‍යානුකූල හිමිකරුවා බවට පත් නොවන බව වෛද්‍ය නානායක්කාර මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. කෙසේ වෙතත්, සතෙකුට නිරන්තරයෙන් ආහාර ලබා දෙමින් සබඳතාවක් පවත්වන්නේ නම්, එම සුනඛයාට අවශ්‍ය ජලභීතිකා එන්නත් ලබා දීම ඇතුළු සත්කාර කිරීමේ සාමාජීය වගකීමක් එකී පුද්ගලයාට හිමිවේ.
කිසිදු භාරකරුවෙකු නොමැති සැබෑ මගී සුනඛයන්ගේ වගකීම තවදුරටත් පැවරෙන්නේ පළාත් පාලන ආයතන වෙතය. උන්ගේ එන්නත්කරණය සහ වන්ධ්‍යාකරණ කටයුතු සංවිධානය කිරීම එම ආයතනවල කාර්යභාරය වන අතර, අත්තනෝමතික ලෙස සුනඛයන් මරා දැමීමට එරෙහිව වඩාත් තදබල නීතිමය ප්‍රතිපාදනද මෙම නව පනත හරහා හඳුන්වා දී තිබේ.
