ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 16) නියෝග කර තිබේ.
මෙම විමර්ශනයට අදාළව සැකකරුවෙකු ලෙස ඉදිරිපත් කෙරුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, දැනට බන්ධනාගාරගතව පසුවන අතර අද (16) දින නඩු විභාගය සඳහා මෙලෙස අධිකරණය වෙත කැඳවාගෙන එනු ලැබීය. සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ අධිකරණ නියෝගය ද එදිනට ප්‍රකාශයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.
මෙම නඩු කටයුත්තේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර, සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය කරුණු දක්වන ලදී. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
