
2014 වසරේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලියට සහභාගී වූ දේශපාලන ආධාරකරුවන්ට දිවා ආහාරය සැපයීම සඳහා ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ මුදල් යොදවන ලෙස එහි ප්‍රධාන විධායක නිලධාරියාට බලපෑම් කිරීමේ සිද්ධියට අදාළව, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ මුදල් කොළඹ මහාධිකරණය මඟින් අද නියම කරන ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ අධිචෝදනා දෙකටම ඔහු වැරදිකරු බවට තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහි පළමු සහ දෙවන අධිචෝදනාවලට වෙන් වෙන් වශයෙන් වසර 7 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් දෙකක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ දඩ මුදල් නියම කෙරිණි. කෙසේ වෙතත්, එම සිරදඬුවම් දෙකම එකවර ගෙවී යා යුතු බවට අධිකරණය නියෝග කළ බැවින් පියංකර ජයරත්න මහතාට විඳීමට සිදු වන උපරිම සිරදඬුවම් කාලය වසර 7කි. මීට අමතරව නියම කරන ලද රුපියල් ලක්ෂ දෙකක සමස්ත දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම්, අමතර මාස 6ක සිරදඬුවමක් ද පනවන බව විනිසුරුවරයා නියෝග කළේය.
නීතිමය කරුණු දැක්වීමේදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයාගේ දරුවන් විදෙස්ගතව සිටින බැවින් රෝගී තත්ත්වයේ පසුවන බිරිඳගේ සම්පූර්ණ භාරකාරත්වය පියංකර ජයරත්න මහතා වෙත පැවරී ඇති බවයි. එම තත්ත්වය සලකා බලා ඔහුට ලිහිල් දඬුවමක් පනවන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට එරෙහි වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ විත්තිකරු දූෂණය නමැති වරද සිදුකර ඇති බැවින් ඔහුට දිය හැකි උපරිම දඬුවම පනවන ලෙසයි.
වයඹ පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයෙකු වන පියංකර ජයරත්න මහතා, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ රජයන් සමයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර රැසක් හොබවා තිබේ.
