නේපාලයට සහ ටිබෙටයට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති වූ මහා ගංවතුරට හසුවී අතුරුදන් වූවන් අතර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු ද වන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. හිමාල අඩවියේ පිහිටි අතිශය පූජනීය කෛලාශ-මානසසරෝවර වන්දනා ගමන සඳහා එක්ව සිටියදී මොවුන් මෙලෙස අනතුරට මුහුණ දී තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ සිඩ්නි නුවර පදිංචිව සිටි 47 හැවිරිදි චන්ද්‍රසේකරන් මුරලිදරන්, ඔහුගේ 42 හැවිරිදි බිරිඳ වන ෂයිලජා මුරලිදරන් සහ 14 හැවිරිදි අශ්වින් හා 11 හැවිරිදි ආරුෂ් යන ඔවුන්ගේ පුතුන් දෙදෙනාය. යාපනයේ කෝපායි ප්‍රදේශයේ උපත ලබා පසුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ චන්ද්‍රසේකරන් මහතාගේ දරුවන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූවන් වේ.
'හිමාලයන් ග්ලැසියර් ඇඩ්වෙන්චර්ස්' ආයතනය හරහා සංවිධානය වූ ඉන්දීය වන්දනා නඩයකට එක්වෙමින් චන්ද්‍රසේකරන් මහතා ඇතුළු පවුලේ පිරිස නේපාලයේ 'කෛලාශය කූට' පර්වතය වන්දනා කිරීමට ගමන් කරමින් සිට ඇත. තවත් ඉන්දියානුවන් 15 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම පිරිස නේපාල-චීන දේශසීමාව ආසන්නයේ පිහිටි 'රසුවගාධි' ප්‍රදේශයේදී මෙම විපතට හසුවන්නට ඇති බවට සැක පළකෙරේ.
මෙතෙක් අතුරුදන් වූ පවුලේ සාමාජිකයන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, සමස්තයක් ලෙස මෙම ජල ගැල්මට හසු වූ ඔස්ට්‍රේලියානු සංචාරකයන් සංඛ්‍යාව 43 කි. නේපාලය සහ ටිබෙටය පුරා ව්‍යාප්ත වූ මෙම මහා ස්වාභාවික ආපදාවෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් ඇති අතර තවත් 4,000 කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටින බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
