
අස්වැසුම අරමුදලෙන් වංචා කළ මුදල් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් ගුරුවරුන් හයදෙනෙකුගේ ගිණුම්වලට බැර කිරීමේ සිද්ධියකට අදාළව එම ගුරුවරුන්ගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ භාර නිලධාරිනියන් දෙදෙනා පසුගිය අටවැනිදා වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 22 වැනිදා දක්වා නැවත රිමාන්ඩ් භාරයේ තබන ලෙස හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර ඇත.
හැටන් කොට්ඨාස විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් අධිකරණයේදී කරුණු දක්වමින් සඳහන් කළේ මෙම මුදල් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. වංචා කරන ලද සමස්ත මුදල රුපියල් කෝටි 2 කට වැඩි අගයක් ගන්නා බැවින්, මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දීමට අදාළ ගොනු සකස් කර ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.
මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකාරියන් දෙදෙනා විසින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන ගුරුවරුන් හයදෙනෙකුගේ ගිණුම්වලට මෙම මුදල් බැර කර ඇති බවයි. අදාළ ගුරුවරුන්ගේද බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කළ යුතු බවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට කළ දැනුම්දීමට අනුව මෙම ගුරුවරුන් 6 දෙනාගේ වැඩ තාවකාලිකව තහනම් කර විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සිද්ධියට අදාළ එක් සැකකාරියකගේ සහෝදරයෙකුගේ ගිණුමකටද විශාල වශයෙන් මුදල් බැර වී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් තනතුරක් දැරූ අදාළ සහෝදරයාගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමට දිස්ත්‍රික් ලේකම්වරිය පියවර ගෙන ඇත.