
2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් හිමිකර ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට මහව ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්.බී.එම්. දනෝජ් තීක්ෂණ වීරසේකර සිසුවා සමත්ව ඇත.
ඇහැටුවැවට යාබද මහමේරුව නම් වූ දුෂ්කර ග්‍රාමයේ පදිංචි දනෝජ්, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් වාර්තා වූ ඉහළම ලකුණට හිමිකම් කියයි.තම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වන දනෝජ් තීක්ෂණ පවසන්නේ, පන්ති භාර ගුරුතුමිය ඇතුළු පාසලේ ගුරුවරුන් එදිනට ලබාදෙන අධ්‍යයන කටයුතු එදිනම අවසන් කරමින් ඉතා සැහැල්ලුවෙන් හා විනෝදයෙන් විභාගයට මුහුණ දුන් බවයි. විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ මඟපෙන්වීම මෙන්ම කිසිදු අඩුවක් නොතබා තමාට අවශ්‍ය පහසුකම් සපයා දුන් පියාගේ කැපවීමද මෙම ජයග්‍රහණයට ප්‍රධාන ශක්තියක් වූ බව ඔහු සඳහන් කරයි. මීට අමතරව, එම පාසලෙන්ම ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්ව දැනට මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිය අක්කාගෙන්ද අධ්‍යාපන කටයුතු සඳහා විශාල සහයෝගයක් ලැබුණු බව හෙතෙම පවසයි. “මේ පාර විභාගයෙන් ලොකුම ලකුණක් ලැබෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබ්බා. ටීචර් දුන්නු වැඩ ටික එදා දවසෙම ඉවර කරලා විනෝදයෙන් තමයි මම විභාගයට සූදානම් වුණේ. පාසලේ ටීචලත් විදුහල්පතිතුමාත් මට ගොඩක් උදව් කළා.
ඒ විතරක් නෙමෙයි අපේ ඉස්කෝලෙන්ම ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙලා මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙන ගන්න මගේ අක්කාත් මගේ තාත්තත් මේ ලකුණ ගන්න මට ලොකු උපකාරයක් වුණා.”
මෙරට ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය පාසලකට ඇතුළත්ව අධ්‍යාපනය ලබා අනාගතයේදී දක්ෂ ඉංජිනේරුවරයෙකු වීම දනෝජ් තීක්ෂණ සිසුවාගේ ප්‍රධානතම අපේක්ෂාවයි.