
ආධුනික පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවයට එක්වීම සඳහා අයදුම්පතක් යොමු කර තිබූ 24 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයෙකු වැලිමඩ පොලීසිය විසින් පෙරේදා (1) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල දිසා අංශයේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකි.
වැලිමඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීම සඳහා අයදුම් කර ඇති අතර, ඇයට අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා මෙම මස 10 වැනිදා කැඳවීමක් ද ලබා දී තිබුණි. සැකකාර පොලිස් සැරයන්වරයා ඇය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට ඇති බව පවසමින් නිවසට ගොස් එම තරුණියට අතවර සිදුකර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගත් අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එමෙන්ම ඔහුගේ රාජකාරි වැඩ තහනම් කිරීම සඳහා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද උසස් පොලිස් නිලධාරීන් විසින් ආරම්භ කර ඇත.
ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බදුල්ලේ පාලිත ආරියවංශ විසින් මෙම පුවත වාර්තා කර ඇත.