priyankaras-funeral-wearing-the-usual-headscarf-will-be-held-tomorrow-03-video

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (03) සිදු කිරීමට නියමිතව තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට 64 වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා අද පස්වරුවේ සිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.




ප්‍රවීණ ගායන ශිල්පී දිවංගත මිල්ටන් පෙරේරා මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරා මහතා, ගායක චලක චමුපති මහතාගේ සහෝදරයාද වෙයි. ඔහුගේ බිරිය ජනප්‍රිය නිළි දිල්හානි අශෝකමාලා වන අතර පියාගෙන් ලද සංගීත දායාදය පෙරදැරි කරගනිමින් ක්ෂේත්‍රයට පිවිසි හෙතෙම, විශේෂයෙන්ම 80 සහ 90 දශකවල කැසට් යුගයේදී මෙරට රසික හදවත් අතිශයින් වැළඳගත් ජනප්‍රිය ගායකයකු බවට පත්විය.

'රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ', 'සිහින දෙව්දුවේ', 'පිස්සු විකාරේ', 'අගාධ සාගරයේ', 'සමාන වී ඉපදී දිවි තලාවේ' මෙන්ම 'පෙර ආත්මයක එක රාත්‍රියක' වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් සිය මියුරු ස්වරයෙන් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඒ මහතා, ගායනයට පමණක් සීමා නොවී පසුකාලීනව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු ලෙසද ප්‍රේක්ෂක ආදරය දිනාගත්තේය.

gossiplanka image