ඩුබායි හිදී අත්අඩංගුවට ගැණුනු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ එම රටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් පෙරවරු 8.10 ට පමණ දිවයිනට පැමිණි සැකකරු ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම නිලධාරීන්ගේ බාරයට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කොණ්ඩ රංජි, බස්නාහිර පළාත තුළ සිදුවූ පාතාල කල්ලි ගැටුම්, වෙඩි තැබීම් සහ හෙරොයින් හා 'අයිස්' මත්ද්‍රව්‍ය ජාලයන් මෙහෙයවීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පොලීසියට අවශ්‍ය කර සිටි අයෙකි. වසර දෙකකට වැඩි කාලයකට පෙර සිය පවුලේ සාමාජිකයන් සමඟ ඩුබායි වෙත පලාගිය ඔහු, එරට වසර 10 ක ගෝල්ඩන් වීසා බලපත්‍රයක් ලබා ගනිමින් සිටිමින් ශ්‍රී ලංකාව තුළ සිය අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබේ. මීට පෙරද නීති විරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගව සොරකම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.
ඔහු විසින් මෙහෙයවන ලදැයි කියන ප්‍රධානතම අපරාධය වන්නේ 2025 ජූලි 03 වනදා කදාන ප්‍රදේශයේදී සිදුවූ මාරාන්තික වෙඩි තැබීමයි. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා සහ ඔහුගේ පාර්ශ්වය ඉලක්ක කර ගනිමින් ටී-56 ගිනිඅවියකින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් සමීර මනහර මහතා තුවාල ලැබූ අතර, ඔහුගේ මස්සිනා වන උපාලි අමුණුවිල නමැත්තා ජීවිතක්ෂයට පත්විය. 'කොණ්ඩ රංජි' ගේ සගයෙකු වන 'චූටි මල්ලි' නැමැත්තා සමඟ පැවැති ආරවුලක් මුල් කරගනිමින්, 'පරවි සුදා' හරහා සපයාගත් ගිනිඅවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ අටක් වටිනා 'අයිස්' මත්ද්‍රව්‍ය කොන්ත්‍රාත් ගාස්තු ලෙස ගෙවා ඇති බවත් පසුව අත්අඩංගුවට පත් වෙඩික්කරු අනාවරණය කර තිබුණි.
ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් සිය බිරිඳ සහ දරුවා සමඟ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී 2026 ජනවාරි 08 වනදා ඩුබායි ගුවන්තොටුපොළේදී මොහු අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම අවස්ථාවේදී ඉන්ටර්පෝල් රතු නිවේදන සහ 2019 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 03 ක් ළඟ තබාගැනීමේ නඩුවද ඔහුට එරෙහිව බලපෑවේය. පසුව එරට අධිකරණය හමුවේ විශාල මුදලක් වැය කරමින් ඇප මත නිදහස් වීමට ඔහු සමත් වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් සිදුකළ රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීම් හමුවේ අවසානයේ ඔහුව මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදීද ගණේමුල්ල ප්‍රදේශයේදී රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් 'අයිස්' සහ හෙරොයින් තොගයක් සමඟ කොණ්ඩ රංජිගේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට පත් වූ අතර, එහිදීද මොහු සමඟ සිදුවූ දුරකථන සංවාද පටිගත කිරීම් පොලීසිය භාරයට ගෙන තිබිණි. කඳාන වීදි මාවතේ පිහිටි මොහුගේ තෙමහල් නිවසට 2024 දෙසැම්බර් මාසයේදී එල්ල වූ ටී-56 ප්‍රහාරය ඇතුළු පාතාල සිදුවීම් රැසකට මුල් වූ කොණ්ඩ රංජි මෙලෙස දිවයිනට ගෙන ඒම, ශ්‍රී ලංකාවේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීමේ ඉදිරි පියවරක් ලෙස සැලකේ.