නැගෙනහිර පළාතේ පළමු වසරේ දෙමළ මාධ්‍ය සිසුන්ගේ තෙවන වාරය සඳහා වෙන් කෙරුණු රුපියල් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් අදාළ මධ්‍යස්ථාන වෙත භාර නොදී, බෝතල් පත්තර වෙළෙන්දෙකුට අලෙවි කිරීමේ සිදුවීමට සම්බන්ධ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාරවරයා සහ බියගම පිහිටි පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීවරයා තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන හා බෙදාහැරීම් කොමසාරිස් එන්. ඩබ්ලිව්. ඩී. නිරෝෂී ගුණවර්ධන මහත්මිය විසින් ඉකුත් මස 12 වනදා සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. නැගෙනහිර පළාතේ පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12 ක් වෙත භාරදීම සඳහා පොත් 19,892 ක ප්‍රමාණයක් බියගම ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික ආයතනය වෙත ගිවිසුම්ගතව භාරදී තිබුණද, එම ආයතනය විසින් භාරකාරත්වය කඩකරමින් කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම ජාවාරමට සම්බන්ධ එකී පෞද්ගලික ආයතනයේ ලොරි රථ රියදුරු ඉකුත් මස 14 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සැකකාර රියදුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඉකුත් මැයි මස 24 වනදා මෙම පොත් තොගය භාරගෙන දෙමළේ පිහිටි සිය නිවසට ගෙන ගොස් ගබඩා කර තබාගත් බවයි. ඉන් දින කිහිපයකට පසුව කිලෝ 1600 ක බරින් යුත් මෙම පොත් තොගය රුපියල් 47,000 ක මුදලකට පරණ පත්තර සහ ප්ලාස්ටික් එකතු කරන ලොරි රථයකට විකුණා ඇති බව සඳහන් වේ.
අනතුරුව පරණ පත්තර එකතු කළ ලොරි රියදුරා සොයා ප්‍රශ්න කිරීමේදී, එම පොත් තොගය පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි පරණ පත්තර හා කඩදාසි අසුරන ආයතනයකට භාරදී ඇති බව හෙළි විය. පොලිස් විමර්ශන කණ්ඩායම එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී, එකී පොත් තොගය යන්ත්‍රානුසාරයෙන් තද කර අසුරා දින කිහිපයකට පෙර ඉන්දියාවට අපනයනය කර ඇති බවට වැඩිදුරටත් තහවුරු වී ඇත.
කිරිවත්තුඩුව සහ කඩවත ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, නොසැලකිලිමත් ලෙස පරිපාලන කටයුතු සිදුකිරීමෙන් රජයේ දේපළවලට අලාභ සිදුකිරීමට අනුබල දීම සහ ඊට පෙළඹවීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. තලංගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් මධුරප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජූඩ්, සැරයන් සිරිවර්ධන (66640), කොස්තාපල්වරුන් වන සරත් (65283) සහ මිහිරංග (78864) යන නිලධාරීහු මෙම විමර්ශන කටයුතු මෙහෙයවූහ.