kamantha-amarasekara-offers-an-86-kilogram-gold-casket-to-the-tooth-relic

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටුවීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත් අතිවිශේෂ ස්වර්ණමය රන් කරඬුවක් පූජා ලෙස ලැබී ඇති බව දළදා භාරකාරීත්වය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත සංදේශයක් මගින් නිල වශයෙන් දැනුම් දී තිබේ. මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම සංදේශය යොමු කර ඇත.




කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන් හා හිතමිතුරන්ගේ ඉල්ලීමකට අනුව, දළදා භාරකාරීත්වයේ අනුමැතිය ඇතිව සිදු කර ඇති මෙම මහා පුදපූජාව සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ ද අමරසේකර මහතා විසිනි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් සහතික කරන ලද වාර්තාවලට අනුව, මෙම රන් කරඬුවේ අඩංගු සම්පූර්ණ පිරිසිදු රත්තරන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 65.224 කි. එහි ඔබ්බවා ඇති විවිධ මැණික් ගල්වල බර කිලෝග්‍රෑම් 1.480 ක් වන අතර, පෑස්සුම් හා උපකාරක ද්‍රව්‍ය සඳහා කිලෝග්‍රෑම් 20.822 ක් වැයවී ඇති බැවින් කරඬුවේ මුළු බර කිලෝග්‍රෑම් 86.04 ක් වන බව එහි සඳහන් වේ.

ශ්‍රී දළදා වහන්සේ මෙතෙක් කල් වැඩ සිටි ඓතිහාසික කරඬුවේ පෞරාණික අනන්‍යතාවය සහ අගය සුරක්ෂිත වන පරිදි, එය ශ්‍රී දළදා මාළිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කර තැබීමට පියවර ගෙන තිබේ. අතීතයේ දළදා වහන්සේ වැඩ සිටි රිදීමය මහ කරඬුව දෙවැනි විමලධර්මසූරිය රජතුමා විසින් තැනීම ආරම්භ කර, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේදී සම්පූර්ණ කර පූජා කරන ලද බව ඉතිහාස වාර්තාවල දැක්වේ.




විවිධ යුගවලදී මෙරට පාලනය කළ රජවරුන්, රාජ්‍ය නායකයන්, විශේෂ අමුත්තන් මෙන්ම සැදැහැවතුන් විසින් පූජා කරන ලද වටිනා මුතු, මැණික් හා ස්වර්ණාභරණවලින් මෙම කරඬුව අලංකාර කර ඇත. මීට අමතරව එම රිදී මහ කරඬුව විසිතුරු කිරීම සඳහා බුරුමය හා සියමය යන රටවලින් පැමිණි දූත පිරිස් ද නොයෙක් අවස්ථාවලදී ආභරණ ඇතුළු පූජා භාණ්ඩ පූජා කර ඇති බව දළදා භාරකාරීත්වය වැඩිදුරටත් සඳහන් කරයි.

කමන්ත අමරසේකර මහතා Kelani Tyres PLC, Lanka Milk Foods (CWE) PLC, Madulsima Plantations PLC, Balangoda Plantations PLC, Eden Hotel Lanka PLC, Ceylon Hotels Corporation PLC, Palm Garden Hotels PLC, සහ AgStar PLC යන ලැයිස්තුගත සමාගම්වල ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.



ඔහු මේ වන විට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි සිව්වෙනියාට විශාලතම කොටස් හිමියා වේ.