the-21-year-old-garment-worker-was-attacked-by-factory-workers-while-she-was-leaving-work

කන්දකැටිය, කරමැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය නිමවා සිය සහෝදරයා සමඟ නිවස බලා ගමන් කරමින් සිටි 21 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ එම කම්හලේම සේවකයින් දෙදෙනෙකු ත්‍රිරෝද රථයද සමඟ අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි.




ගිරාඳුරුකෝට්ටේ, හොබරියාව ප්‍රදේශයේ පදිංචි මෙම 21 හැවිරිදි තරුණිය සහ ඇගේ 19 හැවිරිදි සහෝදරයා මාස අටක පමණ කාලයක සිට කන්දකැටිය බදුලුපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් මෙම ඇඟලුම් කම්හලේ සේවය කරති. පැහැර ගැනීමට ලක්වූ තරුණිය මහියංගණය, සොරබෝර වම්ඉවුර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන සැකකරුගේ නිවසේ රඳවාගෙන සිටියදී කිසිදු හානියකින් තොරව නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

සිද්ධිය වූ දින පස්වරුවේ සේවය නිම වී කම්හල් ප්‍රවාහන බස් රථයෙන් බදුලුපිටියට පැමිණි තරුණිය, තම සහෝදරයා සමඟ පාගමනින් නිවසට යමින් සිට ඇත. ඒ අතරතුර බදුලුපිටිය මංසන්ධියේ නතර කර තිබූ ත්‍රිරෝද රථයක සිටි එකම ඇඟලුම් කම්හලේ සේවය කරන සැකකරුවන් දෙදෙනා විසින් ඇයව බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට ඇද දමාගෙන පලාගොස් තිබේ.




සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සහෝදරයා කන්දකැටිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී මහියංගණය, සොරබෝර වම්ඉවුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු සහ මහියංගණය, දම්බාරාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම සිද්ධියට සම්බන්ධ පලාගොස් සිටින තවත් ඇඟලුම් සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවේ පසුවන 23 හැවිරිදි සැකකරු මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගැනීමට කැමැත්ත විමසමින් ඇය පසුපස නිරන්තරයෙන් පැමිණ ඇති බවත්, එම අකමැත්ත මත මෙම පැහැරගැනීම සිදුකර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.



ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරී 1 වේගිත දේගප්‍රිය යන නිලධාරීන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂ දීපාල් ජයතුංග ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.