සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද සහ ආචාර්ය නන්දා මාලිනියන් විසින් ගායනා කරන ලද කිසිදු නිර්මාණයක් වාණිජමය පරමාර්ථයන් සඳහා භාවිත කිරීම තහනම් කර තිබේ. කැපිටල් සිටි ලෝ නීති ආයතනය මඟින් පෙන්වා දෙන්නේ මෙම ගීත නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ නැවත නිෂ්පාදනය කිරීම පූර්ණ වශයෙන් නීති විරෝධී බවයි.
ඒ අනුව අදාළ ගීත වාණිජ අරමුණුවලින් යුතුව කවර් ගීත ලෙස පටිගත කිරීම මෙන්ම, විවිධ උපහාර හෝ අනුස්මරණ ප්‍රසංගවලදී ගෘහස්ථව හෝ එළිමහන් සංගීත සංදර්ශනවලදී ගායනා කිරීම ද තහනම් වේ. තවද මෙම නිර්මාණ වාණිජමය ලෙස විකාශය කිරීම හෝ මහාචාර්යවරයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන අයුරින් වෙනස් කිරීම් සිදු කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අදාළ නීති ආයතනය අවධාරණය කරයි.
බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වැනි වගන්තිවලට අනුකූලව මෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සාමාජිකත්වය දරන Cey Music සහ ACPOSL යන ආයතනවල රෙගුලාසිවලට අනුව ද මෙවැනි කටයුතු නීති විරෝධී වේ. මෙරට තුළදී හෝ විදේශයකදී යම් පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආයතනයක් මෙම නීති රීති උල්ලංඝනය කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව කැපිටල් සිටි ලෝ ආයතනය මඟින් අධිකරණමය පියවර ගනු ඇත.
කෙසේ වෙතත්, වාණිජ නොවන පරමාර්ථයන්ගෙන් සිදුකරන නිර්මාණාත්මක කටයුතුවලට මෙයින් බාධාවක් සිදු නොවන බව එම ආයතනය ප්‍රකාශ කරයි. ඒ අනුව පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ පැවැත්වෙන ගායනා තරග මෙන්ම, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා මඟින් සංවිධානය කරනු ලබන ආධුනික ගායනා තරග සඳහා මෙම ගීත භාවිත කිරීමට එරෙහිව නීතිමය පියවර නොගන්නා බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කර තිබේ.