ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. නව දිල්ලියේ පිහිටි පුවත් තොරතුරු කාර්යාංශය (PIB) විසින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් නිකුත් කරන ලද නිවේදනයක මේ බව තහවුරු කර තිබේ.
මෙම සංචාරයේදී ඒ මහතා ශ්‍රී ලංකා නායකත්වය සමඟ විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට මෙන්ම කොළඹදී ඉන්දීය ප්‍රජාව හමුවී සංවාදයේ යෙදීමට ද කටයුතු කරනු ඇත.ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත උසස් පෙළේ නියෝජිත පිරිසක් රාජ්නාත් සිං මහතා සමඟ මෙම සංචාරයට එක්ව සිටිති. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව ගැඹුරු ශිෂ්ටාචාරමය මුල් සහිත එකක් වන අතර එය කලාපීය ආරක්ෂාව, ආරක්ෂක ක්ෂේත්‍රය, ආර්ථික හා වෙළඳ සහයෝගීතාව මෙන්ම ශක්තිමත් මහජන සබඳතා පදනම් කරගත් බහුවිධ හවුල්කාරිත්වයකින් යුක්ත බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුද සමයේදී ඉන්දියාව ලබා දුන් සහය සහ 2025 වර්ෂයේ ඇති වූ 'ඩිට්වා' සුළි සුළඟින් (Cyclone Ditwah) පසු මුලින්ම සහන සැලසූ රටක් ලෙස ඉන්දියාව ඉටුකළ කාර්යභාරය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වී ඇත. මෙම සංචාරය මගින් ඉන්දියාවේ 'අසල්වැසියාට මුල් තැන' (Neighbourhood First) ප්‍රතිපත්තිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ 'මහාසාගර්' (MAHASAGAR - Mutual and Holistic Advancement for Security and Growth Across Regions) සංකල්පය කෙරෙහි පවතින නොසැලෙන කැපවීම නිරූපණය කෙරේ.
බලගතු නාවික හා ආරක්ෂක හවුල්කාරිත්වයක් ඇතුළුව දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම සංචාරය මගින් මගපෑදෙනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.