forensic-audit-may-identify-those-responsible-for-coal-import-irregularities

ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතාවලට වගකිවයුතු පුද්ගලයන් කවුරුන්දැයි වෝහාරික විගණනයක් මගින් නිශ්චිතවම හඳුනාගත හැකි බව ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියෙකු ප්‍රකාශ කරයි. ගල්අඟුරු ආනයන ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳ සොයා බලන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි එම නිලධාරියා පසුගියදා පස්වරුවේ මේ බව සඳහන් කළේය.




වසර 2009 සිට 2016 දක්වා කාල සීමාව ආවරණය වන පරිදි නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවේ අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් සඳහන් නොවීම පිළිබඳව කොමිෂන් සභාව කළ විමසීමට පිළිතුරු දෙමින් හෙතෙම මෙම කරුණු අනාවරණය කළේය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ගල්අඟුරු ආනයනයට අදාළ සංදේශ ඉදිරිපත් කිරීමේදී විවිධ ආයතන හා පුද්ගලයන් ලබා දෙන තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කරගැනීමේ වගකීම බලශක්ති ලේකම්වරුන්ට මෙන්ම අදාළ ඇමැතිවරුන්ට ද පවතින බව විගණන සොයාගැනීම් ඇසුරෙන් හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මහජන අභිලාෂයන්ට අනුව මහජන මුදල් වැය කිරීමේදී වත්කම්, වගකීම්, ආදායම්, වියදම් සහ හිමිකම් යන කරුණු පහ සම්බන්ධයෙන් විගණන ක්‍රමවේද ඔස්සේ විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු පැවසීය.




අදාළ විගණනයේදී රජයට සිදු වූ විශාල අලාභයන් රැසක් අනාවරණය වූ අතර, නිසි ලෙස කටයුතු කළේ නම් එම අලාභ වළක්වා ගැනීමට ඉඩ තිබූ බව ද නිරීක්ෂණය වී තිබේ. ලංකා ගල්අඟුරු සමාගම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා කල්තියා නිසි සැලසුම් සකස් නොකිරීම මෙන්ම ටෙන්ඩර් කැඳවීමේදී තාක්ෂණික හා ටෙන්ඩර් කමිටු ගනු ලැබූ අත්තනෝමතික සහ අදූරදර්ශී තීරණ මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එමෙන්ම ටෙන්ඩර් අභියාචනා කමිටුවේ නිර්දේශ නොසලකා හරිමින් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ සහ අමාත්‍ය මණ්ඩල තීරණවලට පිටින් ගල්අඟුරු ප්‍රසම්පාදන කමිටු කටයුතු කිරීම ද මෙම කාලය තුළ දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.