අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද නව මෙහෙයුම් රාමුවක් යටතේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලෙහි පූර්ණ අයිතිය රජය වෙත ලබාගැනීමටත්, එහි දෛනික පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීමටත් පියවර ගෙන ඇත. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම නව ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම නව වැඩපිළිවෙල යටතේ රෝහල සහ ඊට අයත් සියලු වත්කම් මහා භාණ්ඩාගාරය සතු පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමකට පැවරෙන අතර, රෝහලේ පරිපාලනමය කටයුතු මෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් මෙහෙයවීමේ වගකීම ගුවන් හමුදාව වෙත පැවරෙනු ඇත. සමාගම් පනත යටතේ රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපනය කෙරෙන මෙම සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය සතුව පවතින අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පත් කරනු ලබන 11 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් එය පාලනය වේ.
මූල්‍ය සම්පාදනයට අදාළව, 2026 වසරේ සිට 2028 වසර දක්වා කාලය තුළ රෝහල් කාර්ය මණ්ඩලයේ වැටුප් සහ මෙහෙයුම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය මගින් ප්‍රතිපාදන ලබාදීමට නියමිතය. එම කාලසීමාවෙන් අනතුරුව, අදාළ රෝහල තමන්ට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගන්නා ස්වයං-මූල්‍යකරණ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.
මහජනතාව වෙත නොමිලේ සපයන වෛද්‍ය සේවාවලට අමතරව ගෙවීම් පදනම මත ලබාදෙන නේවාසික සහ බාහිර රෝගී වෛද්‍ය සේවාවන් ද මෙම රෝහල මගින් සපයනු ලබයි. නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමේ කටයුතුවලට සහාය වීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අයවැය වෙන් කිරීම් හරහා වසරකට රුපියල් මිලියන 125 ක් පමණ වටිනා ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට නියමිතය.
2017 ජූනි 27 වන දින ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුකූලව 2017 අගෝස්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම රෝහලේ පරිපාලනමය කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා තිබුණි.
