namal-who-was-preparing-for-a-bodhi-pooja-was-ostracized-by-his-followers-in-matara

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට සෙත් පතා මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අබියස සංවිධානය කර තිබූ බෝධි පූජා පින්කම සඳහා එම භූමිය ලබා දිය නොහැකි බව මාතර බෝධි ආරක්ෂක සභාව දැනුම් දීමත් සමඟ, එම පින්කම වෙනත් ස්ථානයක පැවැත්වීමට සංවිධායකයන්ට සිදු වී තිබේ.




මෙම පින්කම ඊයේ (21) පස්වරු 4.00ට මාතර බෝධි පරිශ්‍රයේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඹුරුපිටිය ආසන සංවිධායක කීර්ති විජයවංශ මහතා විසින් රුපියල් 300ක දායකත්ව මුදලක් ගෙවා පූර්වයෙන් වේලාව වෙන් කරගෙන තිබුණි. කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ මෙම බෝධි පූජාවට එක්වන ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමත් සමඟ, අදාළ ස්ථානය ලබා දිය නොහැකි බව මාතර බෝධියේ නියෝජිතයෙකු විසින් කීර්ති විජයවංශ මහතා වෙත දැනුම් දී ඇත.

අනතුරුව අදාළ පින්කම හිත්තැටිය රජ මහ විහාරස්ථානයේ පැවැත්වීමට තීරණය කර තිබූ අතර, ඇති වූ මෙම හදිසි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (20) රාත්‍රියේ මාතර පිහිටි පක්ෂ කාර්යාලයේදී විශේෂ හමුවක් පවත්වා තිබේ.




ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෝට්ටේ ආසන සංවිධායක මිලින්ද රාජපක්ෂ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් සහ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ. එහිදී එළඹෙන 24 වැනිදා පස්වරු 4.00ට දෙවිනුවර පුදබිමේදී මෙම බෝධි පූජා පින්කම පැවැත්වීමට ඒකමතිකව යෝජනා ස්ථිර කර ගන්නා ලදී.

පූර්වයෙන් වේලාව වෙන් කර තිබියදීත් මාතර බෝධි පරිශ්‍රය ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මාතර බෝධි ආරක්ෂක සභාව වෙත සංවිධායකයන්ගේ දැඩි විවේචන එල්ල වී ඇත. මෙම සිදුවීම පිළිබඳව මාතර බෝධි ආරක්ෂක සභාවෙන් කරුණු විමසීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ අතර, මෙම තීරණය බහුතරයකගේ එකඟතාවයෙන් ගත් එකක් නොව පුද්ගලයන් කිහිපදෙනෙකුගේ තීරණයක් බව ද වාර්තා වේ.