el-nino-brings-intense-heat-to-the-island

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළුව යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඇම්බර් වර්ණයෙන් යුතු උණුසුම් කාලගුණ උපදේශයක් නිකුත් කර තිබේ. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් ගණනය කරන ලද උණුසුම් දර්ශකයට අනුව, අදාළ ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැක.

ගෝලීය ගණිතමය ආකෘති දත්ත සහ වායුගෝලීය ආර්ද්‍රතාව පදනම් කරගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් මත සකස් කර ඇති මෙම උණුසුම් දර්ශකය මගින් නිරූපණය වන්නේ සිරුරට දැනෙන සැබෑ තාප තත්ත්වයයි.




එල්නීනෝ කාලගුණික විපර්යාසය හේතුවෙන් මතුව ඇති මෙම අධික උෂ්ණාධික තත්ත්වය , පූර්ව දැනුවත්භාවය හා නිසි මැදිහත්වීම මගින් එහි අහිතකර බලපෑම් පාලනය කර ගැනීමට සහ අවම කර ගැනීමට හැකි බව අවධාරණය කෙරේ.

අධික උෂ්ණත්වයට දීර්ඝ වේලාවක් නිරාවරණය වීමෙන් සමේ කුෂ්ඨ, ක්ලාන්තය, මස්පිඬු පෙරළීම (heat cramps) සහ අධික මහන්සිය (heat exhaustion) වැනි සංකූලතා ඇති විය හැක. මෙහි වඩාත්ම බරපතල තත්ත්වය වන තාප ආගාතය (heat stroke) හමුවේ පැයක් වැනි කෙටි කාලයක් තුළ රෝගියෙකු මරණයට පවා පත් විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. තාප ආගාතයේදී සිරුරේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වී මොළය, හෘදය, පෙනහැලි සහ වකුගඩු වැනි ප්‍රධාන ඉන්ද්‍රියයන්ට බරපතල හානි සිදු වන අතර, සිහිමඳ භාවය ඇතිවීම සහ මුත්‍රා පිටවීම නතර වීම වැනි ලක්ෂණ ද මතු විය හැක.




මෙම අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පෙර සූදානම සහ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් පූර්වාහ්න 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ හිරු රශ්මියට නිරාවරණය වීම සීමා කළ යුතු අතර, නිරන්තරයෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම සුදුසුය. එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම, නිවෙස් තුළ සිටින වැඩිහිටියන් හා රෝගීන් පිළිබඳ සැලකිලිමත් වීම මෙන්ම නවාතැන්ගෙන ඇති වාහන තුළ කුඩා ළමුන් තනිව රඳවා නොතැබීමට ද වගබලා ගත යුතුය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ 011-7446491 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.

el-nino-brings-intense-heat-to-the-island

el-nino-brings-intense-heat-to-the-island