ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම සහභාගි වන බව එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ සැලසුම් කළ පරිදිම මෙම ජනරැලිය පැවැත්වෙන අතර හිටපු ජනාධිපතිවරයා ද ඊට එක්වන බවයි.
කෙසේවෙතත්, මෙම ජනරැලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඇමතීමට කටයුතු නොකරන අතර, ඔහු ප්‍රධාන වේදිකාවට ගොඩ නොවීමට ද තීරණය කර ඇත. ඒ වෙනුවට ප්‍රධාන වේදිකාව ඉදිරිපිට සිටින ජනතාව අතර හෝ වෙනත් විශේෂ පීඨිකාවක රැඳී සිටිමින් ඔහු මෙම රැලිය සමඟ එකතු වීමට නියමිත බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
පසුගිය සිකුරාදා දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර ජනරැලිය සම්බන්ධයෙන් මෙම තීරණයට එළඹ ඇත්තේ එම සිදුවීමෙන් පසු නිර්මාණය වූ තත්ත්වය හමුවේය.