නිරෝධායන නීති-රීති උල්ලංඝනය කරමින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද, අධික වටිනාකමකින් යුත් ඉන්දියානු ජයග්රාහී පරවියන් තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු කල්පිටිය වන්නිමුන්දලම වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය මගින් සිදුකළ මෙම වැටලීමේදී පක්ෂීන් ප්රවාහනය කිරීමට යොදාගත් ධීවර යාත්රාව, එහි එන්ජිම මෙන්ම මෙම පරවි තොගය ගොඩබිම ඔස්සේ රැගෙන යාම සඳහා වෙරළ ආසන්නයේ නවත්වා තිබූ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පුත්තලම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්රේමදාස මහතා වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්රියාත්මක වූ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. එස්. ප්රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සැරසී වන්නිමුන්දලම වෙරළ ප්රදේශයේ රැකවල් ලා සිට ඇත. එදින පූර්වභාග 10.00 සිට වෙරළ තීරයේ සැඟවී සිටි පොලිස් කණ්ඩායමට අදාළ සැකකටයුතු යාත්රාව වටලා අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ අපරභාග 5.00 ට පමණ ය.
අත්අඩංගුවට ගත් පරවියන් සිදුරු සහිත ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි හයක් තුළ ඉතා තදබද වන සේ අසුරා තිබූ අතර, දින තුනකට අධික කාලයක් මුහුදු ගමනේ යෙදීම හේතුවෙන් එම පක්ෂීන් දැඩි ලෙස හෙම්බත්ව හා දුර්වල තත්ත්වයෙන් පසුවූ බව උප පොලිස් පරීක්ෂක ප්රනාන්දු මහතා සඳහන් කළේය.
ජාතික සහ ජාත්යන්තර මට්ටමේ තරග සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම පක්ෂීන්ගේ පාදවල විශේෂිත මුදු පළඳවා ඇති අතර, මොවුන් ඉතා උසස් සම්භවයක් සහිත වටිනා පරවි විශේෂයකි. මෙලෙස නීති විරෝධී ලෙස ජාවාරම් කළ එක් පරවියෙකුගේ වාණිජ වටිනාකම රුපියල් පනස්දහස ඉක්මවන බව පරවි ව්යාපාරිකයෝ පෙන්වා දෙති.