
පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසක් වටලා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'පානදුර කුඩු සලිඳු' නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය විදේශයන්හි සිට මෙහෙයවන 'රන්දික' නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන 'DJ චතූ' නමැත්තා සිය අනියම් බිරිඳ සමඟ මාසිකව රුපියල් 70,000ක මුදලකට කුලී පදනම මත මෙම නිවසේ පදිංචිව සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම නිවස කුලියට ලබාගෙන තිබුණද නිරන්තරයෙන්ම වසා දමා තිබීම හේතුවෙන් ඇති වූ සැකය මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී හෙරොයින් තොග වශයෙන් සැපයීමේදී සාම්පල් පෙන්වීම පිණිස සකස් කරන ලද කුඩා පැකට් පහක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා විවිධ ලාංඡන මුද්‍රණය කළ කඩදාසි, ඒවා මුද්‍රණය කිරීමට යොදාගන්නා විශේෂිත කඩදාසි තොගයක් සහ කඩදාසි කපන යන්ත්‍රයක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
එමෙන්ම එම නිවසේ තිබී ජංගම දුරකථන තුනක්, රන් ආලේපිත ස්වර්ණාභරණ තොගයක් සහ ආරක්ෂක කැමරා පද්ධතිවල මෙහෙයුම් දත්ත ඇතුළත් මෙමරි කාඩ්පත් ද සොයාගෙන තිබේ. තෙමහල් නිවසේ පහළ මහලේ සිට ඉහළ මහල දක්වා නිවස ඇතුළත සහ පිටත ආවරණය වන පරිදි සවිකර තිබූ CCTV කැමරා පද්ධතිය ජංගම දුරකථන හරහා ඕනෑම ස්ථානයක සිට අධීක්ෂණය කළ හැකි පරිදි සකස් කර තිබූ බව ද සඳහන් වේ.
විදේශ රටවල සිටින පුද්ගලයන් සමඟ සෘජුවම සම්බන්ධ විය හැකි පරිදි විශාල ප්‍රමාණයේ තිර සහ විශේෂිත සන්නිවේදන තාක්ෂණික උපකරණ සවිකර සකස් කරන ලද කාමරයක් ද නිවස තුළ පවත්වාගෙන ගොස් ඇත. වැටලීම සිදුවන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් ඇති අතර, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'DJ චතූ' ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
