ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතයේ උන්නතිය සහ පුනර්ජීවනය උදෙසා දීර්ඝකාලීන සේවයක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවකු මෙන්ම ‘සින්ග්ලංකා’ ආයතනයේ නිර්මාතෘවරයා ද වූ ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ක්ෂේත්‍රය තුළ ගෞරවාදරයට පාත්‍ර වූ ඒ මහතා, දේශීය සංගීත කලාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කීර්තිමත් චරිතයකි.
දේශීය සංගීතඥයන් සහ නිර්මාණකරුවන් සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ ආනන්ද ගනේගොඩ මහතා ‘සින්ග්ලංකා’ කැසට් නිෂ්පාදන ආයතනය පිහිටුවනු ලැබුවේ ඔවුන්ගේ නිර්මාණාත්මක ස්වාධීනත්වය, නිමැවුම්වල ගුණාත්මකභාවය සහ ආර්ථික සුබසාධනය තහවුරු කිරීමේ අරමුණිනි. ගුවන්විදුලි මාධ්‍යයට පසුව රසිකයන්ගේ උසස් රසවින්දනයට ගරු කරමින් ප්‍රමිතියෙන් යුත් සංගීත නිර්මාණ ජනගත කළ ආයතනයක් ලෙස සින්ග්ලංකා සමාගම ක්ෂේත්‍රයේ ඉහළ ඇගයීමට ලක්විය.
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති ඒ මහතාගේ දේහය මේ වනවිට ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාරේ අංක 179/2 දරන පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇත. අවසාන කටයුතු සිදුකරන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
