businessman-mohamed-infas-who-sent-over-80-million-abroad-remanded

මෙරටට භාණ්ඩ ආනයනය කරන බව පෙන්වමින් නීතිවිරෝධී ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 80කට අධික මුදලක් විදේශයන් වෙත යැවීමේ සිද්ධියට සම්බන්ධ මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන්ෆාස් නැමැති ව්‍යාපාරිකයා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

ඩොලර් මිලියන 700ක් රටින් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ජිෆ්රි මොහොමඩ්ට අදාළව සිදුකෙරෙන පරීක්ෂණවලට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම තැනැත්තා, අදාළ නඩුවේ හයවැනි සැකකරු ලෙස නම් කර ඇත.




අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ ප්‍රධාන සැකකරුට අයත් සමාගම් 89න් 26ක්ම මෙම හයවැනි සැකකරුට අයත් ඒවා බවයි. තම වෙළෙඳසැලේ සේවය කරන සේවකයන් තිදෙනෙකුගේ තොරතුරු අවභාවිත කරමින් මොහු මෙම සමාගම් 26 ලියාපදිංචි කර ඇති අතර, ඉන් එක් සේවකයෙකු සමාගමක ලේකම්වරයෙකු ලෙසත් තවත් අයෙකු අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පත්කර තිබේ. කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර, කූට ලේඛන සහ ව්‍යාජ ඉන්වොයිසි ඉදිරිපත් කරමින් මෙරට ප්‍රසිද්ධ වාණිජ බැංකු හයක් හරහා විද්‍යුත් විගමන පැවරීම් 3,198ක් ඔස්සේ රුපියල් බිලියන 23කට අධික මුදලක් විදේශයන් වෙත මුදාහැර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙය රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ඩොලර් සංචිත සූක්ෂ්ම ලෙස විදේශයන් වෙත ඇදී යාමට සැලැස්වූ අපරාධයක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් විශුද්ධිකරණය කිරීමක් මෙන්ම රේගු පනත උල්ලංඝනය කිරීමක් ලෙස ද පරීක්ෂණ සිදුවන බවත් පොලිසිය ප්‍රකාශ කළේය. පළමු සැකකරුට විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ මහාධිකරණයේ අධිචෝදනා භාරදීමට නියමිත අතර, මෙම මහා පරිමාණ ජාවාරමට මීට පෙර අත්අඩංගුවට පත් බැංකු නිලධාරියා ඇතුළු තවත් බැංකු නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ බවට සැකකෙරේ. සැකකරුවන් සාක්ෂි විනාශ කිරීමට උත්සාහ කර ඇති පසුබිමක, පරිගණක යන්ත්‍ර දෙකක්, ප්‍රින්ටර් යන්ත්‍ර, දුරකථන හා ඉන්වොයිස් වාර්තා ඇතුළු සාක්ෂි රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සියලු සමාගම් 89 හි බැංකු ගිණුම් අත්හිටුවීමට ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.




විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ පිටකොටුවේ පවතින ව්‍යාපාරික පද්ධතියේ සහ විදේශ විනිමය පාලන රීතිවල ඇති ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙවැනි ගනුදෙනු සිදු කිරීමට සිදුවූ බවයි. නිල බැංකු පද්ධතිය මගින් ලබාදෙන විනිමය අනුපාත හා බැංකු ගාස්තු අධික වීම නිසා අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවත්, රේගු බදු ගෙවා භාණ්ඩ නිදහස් කරගැනීමෙන් පසු විදේශීය සැපයුම්කරුවන්ට මුදල් යැවීමට විධිමත් පහසු ක්‍රමවේදයක් නොමැති වීම නිසා මිතුරන් හා සේවකයන් මාර්ගයෙන් කුඩා කොමිස් මුදලකට මුදල් යැවීමට සිදුවූ බවත් විත්තියේ නීතිඥවරයා පැවසීය.

එසේම මෙම ගනුදෙනුවලට යොදාගත් මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවලින් උපයාගත් ඒවා නොවන බවත්, සැකකරු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර ලීසිං පහසුකම යටතේ ලබාගත් වාහනයක් භාවිත කරන සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු බවත් විත්තිය සඳහන් කළේය. සැකකරු පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බැවින් ඇප පනතේ 14 වන වගන්තිය යටතේ සහන සලසන ලෙස ඉල්ලා සිටියද, දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කළේය.