ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් සංවිධානය කරනු ලබන විරෝධතා ජන රැලිය හෙට (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. මෙම රැලිය වත්මන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීමේ අරමුණින් පැවැත්වෙන්නක් නොව, පවතින පාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතා විරෝධය පළකිරීම සඳහා සංවිධානය කරන ලද්දක් බව හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම පිටුපස දේශපාලන බලපෑමක් පවතින්නේද යන්න පිළිබඳව රට තුළ සැකයක් නිර්මාණය වී ඇති බව තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය. අධිකරණ තීන්දු ලබාදීමට පෙර පාර්ලිමේන්තුවේදී සහ දේශපාලන වේදිකාවලදී ඒ පිළිබඳව අදහස් දැක්වීම හේතුවෙන්, රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම පියවර ගත්තේ ද යන්න ජනතාව අතර ප්‍රශ්නාර්ථයක් වී තිබේ. කෙසේ වෙතත්, මෙය පුද්ගලිකව නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමේ සටනක් නොව ජනතා පීඩනයට එරෙහි විරෝධතාවයක් බැවින්, ප්‍රධාන සංවිධායකවරයා නොමැති වුවද වඩාත් ජවසම්පන්න ලෙස ජනතාව එකමුතු වෙමින් රැලිය සාර්ථක කර ගැනීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ පැවැත්වෙන මෙම දැවැන්ත ජන රැලිය සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වන බව පක්ෂයෙන් නිල වශයෙන් දැනුම් දී ඇති බව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ සහභාගී වන බවට මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බව ඔහු කීය. රජයේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ ඕනෑම දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුට මෙම රැලියට සහභාගී වී සහය පළකිරීමේ හැකියාව පවතින බවද, ආරාධිත කතිකයින් සහ නියෝජිතයන් පිළිබඳ අවසන් තීරණ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් ගනු ලබන බවද හෙතෙම කියා සිටියේය.
මීට මාස කිහිපයකට ඉහතදී ගම් මට්ටමින් සිදුකළ සංචාරවලදී ආගමික නායකයන්, රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෙම විරෝධතා මාලාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී, ඉරිඟු, බී ලූණු, එළවළු සහ පළතුරු වගාකරන ගොවීන් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, වී කිලෝවක් රුපියල් 85ත් 87ත් අතර අඩු මුදලකට අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි ලෙස අසරණ වී සිටින බව ප්‍රකාශ කළේය. හොරොව්පතාන, කහටගස්දිගිලිය, පදවිය සහ කැකිරාව ඇතුළු සමස්ත ප්‍රදේශයේම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් හෝ නියාමනයක් නොමැති වීම, පොහොර සහ තෙල් ලබාගැනීමේදී පවතින ගැටලු නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බවද, එම පීඩනය පිටකිරීම සඳහා ජනතාව අනුරාධපුරයට එකතු වන බවද හෙතෙම පැවසීය. විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම ජනාධිපතිවරයා බැවින් රටට සහ ප්‍රජාවට ඉටුවිය යුතු වගකීම් නිසි පරිදි ඉටුකරන ලෙස රජයට බලපෑම් කිරීම මෙම රැලියේ ප්‍රධාන අරමුණකි.
රැලිය සඳහා සහභාගී වන පිරිස් ආහාර පාන, මුදල් හෝ මත්ද්‍රව්‍ය ලබාදී ගෙන්වා ගන්නා බවට ආණ්ඩු පාර්ශ්වයෙන් සහ සමාජ මාධ්‍ය මඟින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන මන්ත්‍රීවරයා, ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය පවත්වන රැලි සඳහා ජනතාව එකතු වන්නාක් මෙන්ම, පවතින පාලනය කෙරෙහි ඇති විරෝධය පළකිරීමට සමස්ත දිස්ත්‍රික්කවලින්ම විශාල ජනකායක් සිය කැමැත්තෙන්ම අනුරාධපුර නගරයට පැමිණෙන බව ප්‍රකාශ කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හත සහ ග්‍රාම සේවා වසම් 693ම නියෝජනය කරමින් මෙන්ම රට පුරා සිටින ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජනතාව විශාල වශයෙන් මීට එක්වන බැවින්, මෙය මෑත කාලයේ පක්ෂයක් සංවිධානය කරන දැවැන්තම විරෝධතා රැලිය බවට පත්වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.