
කාන්තාවන්ගේ වයස අනුව ඔවුන් මුහුණ දෙන පියයුරු පිළිකා අවදානම පිළිබඳව සෞඛ්‍ය උපදෙස් ලබා දීම අතිශයින් වැදගත් බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ (Imperial College London) විශේෂඥයින් පෙන්වා දෙන්නේ විවිධ වයස් කාණ්ඩවලදී කාන්තාවන්ගේ ජීවන රටාවේ පුරුදු වෙනස් වන බැවින්, එම සංක්‍රාන්ති සමයන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න පුරුදු පිළිබඳව දැනුවත් කිරීම වඩාත් ඵලදායී වන බවයි. මෙම අධ්‍යයනය සඳහා 'Breast Cancer Now Generations Study' යටතේ කාන්තාවන් 110,000 කට වැඩි පිරිසකගේ දත්ත විශ්ලේෂණය කර ඇති අතර, එහිදී ඔවුන්ගේ දුම්පානය, මත්පැන් භාවිතය, ව්‍යායාම සහ ශරීරයේ බර යන සාධක වයසත් සමඟ වෙනස් වන ආකාරය පුළුල් ලෙස නිරීක්ෂණය කර ඇත.
පර්යේෂණ දත්තවලට අනුව වයස අවුරුදු 30 ගණන්වල පසුවන කාන්තාවන් දිනකට වයින් වීදුරුවක් පානය කිරීමෙන් පවා ඔවුන්ගේ පියයුරු පිළිකා අවදානම සියයට 15 කින් පමණ ඉහළ යා හැක. එසේම මැදිවියේ කාන්තාවන්ට බලපාන ප්‍රධානතම අවදානම් සාධකය වන්නේ ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීමයි. වයස අවුරුදු 20 ගණන්වල පසුවන කාන්තාවන් වැඩි වශයෙන් මත්පැන් පානය කිරීමට පෙළඹුණද, වයස අවුරුදු 30 ගණන්වල පසුවන කාන්තාවන් මත්පැන් සහ අධික බර යන සාධක ද්විත්වයේම බලපෑමට එකවර ලක්වන බැවින් ඔවුන් වැඩි අවදානමකට මුහුණ දෙයි. පසුගිය දශකය තුළ වයස අවුරුදු 20 ත් 49 ත් අතර කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති පසුබිමක මෙලෙස වයස අනුව දැනුවත් කිරීම් සිදු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වී ඇත.
සමස්ත පියයුරු පිළිකා රෝගීන්ගෙන් කාලක් පමණ එනම් සියයට 25 ක ප්‍රතිශතයක් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකි බවට විශ්වාස කෙරේ. ශරීරයේ මේද සෛල වැඩි වන තරමට ඊස්ට්‍රජන් (oestrogen) හෝමෝන මට්ටම ඉහළ යන අතර, එය පියයුරු පිළිකා අවදානම සෘජුවම වර්ධනය කරයි. 'Scientific Reports' සඟරාවේ පළ වූ වාර්තාවලට අනුව, ආර්තවහරණයෙන් (post-menopausal) පසු තරබාරු කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සාමාන්‍ය බරැති කාන්තාවන්ට වඩා සියයට 30 කින් ඉහළ ය. පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ඒමී බෙරින්ටන් (Amy Berrington) සඳහන් කරන්නේ නිශ්චිත වයස්වලදී මත්පැන් ආශ්‍රිත අවදානම් පිළිබඳව කාන්තාවන්ට අනතුරු ඇඟවීම මඟින් දියවැඩියාව සහ හෘද වාහිනී රෝග වැනි වෙනත් රෝගාබාධ වළක්වා ගත හැකි බවයි.
මේ අතර, පියයුරු පිළිකා රෝගීන් සඳහා මාස හයක අමතර ජීවිත කාලයක් ලබා දිය හැකි නව ඖෂධයක් වසර දෙකක අඛණ්ඩ අරගලයකින් පසු බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) විසින් අනුමත කර තිබේ. ඒ අනුව එංගලන්තයේ වසරකට කාන්තාවන් 1,000 කට අධික පිරිසකට 'Enhertu' නමැති මෙම නවතම ඖෂධය ලබා දීමට නියමිතය. මීට පෙර නිලධාරීන් විසින් මෙම ඖෂධය සඳහා වැය කරන මුදලට සරිලන වටිනාකමක් නොමැති බවට තීරණය කර තිබුණද, නව අනුමැතියත් සමඟ මෙය පියයුරු පිළිකා මර්දන ව්‍යාපාරයේ ඓතිහාසික දිනයක් බව 'Breast Cancer Now' පුණ්‍යායතනයේ ක්ලෙයාර් රව්නි (Claire Rowney) ප්‍රකාශ කර සිටියි.
(ඩේලි මේල් ඇසුරිනි)

