බ්‍රික්ස් (BRICS) සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කරන ලද නිල අයදුම්පත තවදුරටත් එම සංවිධානයේ සාමාජික රටවල සලකා බැලීමට ලක්වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. අවසන් තීරණයක් තවමත් ලැබී නොමැති වුවද, බ්‍රික්ස් රටවල් සමඟ පවතින ඵලදායී සහ සමීප සබඳතා අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට මෙරට කටයුතු යොදමින් සිටී.
විශේෂයෙන්ම 'ගෝලීය දකුණට' අයත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි ප්‍රමුඛතා සහ අවශ්‍යතාවයන් සාක්ෂාත් කරගැනීම සඳහා මෙම රටවල් සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණයි.නැගී එන බහුපාර්ශ්වීය රාමූන් තුළ සංවර්ධනය වන රටවල හඬට වැඩි නියෝජනයක් හිමිවිය යුතු බවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් පෙනී සිටින අතර, 2026 සැප්තැම්බර් 12 සහ 13 දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී නොමැති බවද අමාත්‍යවරයා තහවුරු කළේය. කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාව කොන් කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොවන බවත්, මෙවර සමුළුව සඳහා අලුතින් හඳුන්වා දී ඇති ආරාධිතයන් කැඳවීමේ ආකෘතියේ (outreach format) වෙනසක් හේතුවෙන් සිදු වූවක් බවත් හෙතෙම පැහැදිලි කළේය.
පෙර පැවති බ්‍රික්ස් සමුළු සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව හිමිවූයේ යම් යම් කලාපීය සංවිධානවල සභාපතිත්වය දැරීමේ පදනම මතය. ඒ අනුව, 2016 වසරේ ඉන්දියාවේ ගෝවේ පැවති සමුළුවට බිම්ස්ටෙක් සංවිධානය හරහා සහ 2024 වසරේ රුසියාවේ කසාන් නුවර පැවති සමුළුවට ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපති ලෙස ශ්‍රී ලංකාව එක්විය. නමුත් 2026 නවදිල්ලි සමුළුවේ බාහිර සම්බන්ධතා ව්‍යුහය සකස් කර ඇත්තේ බිම්ස්ටෙක්, අප්‍රිකානු සංගමය, ආසියාන්, CELAC සහ යුරේසියානු ආර්ථික සංගමය යන නිශ්චිත කලාපීය සංවිධානවල සභාපතිවරුන්ට පමණක් ආරාධනා කරන අන්දමිනි. මෙකී පදනම මත, වර්තමානය වන විට IORA හෝ අදාළ වෙනත් කලාපීය සංවිධානයක සභාපතිත්වය ශ්‍රී ලංකාව නොදරන බැවින් මෙවර සමුළුවට සහභාගී වීමේ අවස්ථාව හිමිව නොමැත.
