former-underworld-figure-arrested-with-drugs-worth-rs

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා සබලිකයෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ ගිනිඅවියක් ද සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිව ඇත.




විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් II ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වැටලීමේදී, සැකකරු සමඟ හෙරොයින් ග්‍රෑම් 716 ක් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255 ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනිඅවියක්, පතුරම් ගැබක් සහ ඔහු ගමන් ගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් 43 හැවිරිදි මෙම පුද්ගලයා මීට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර ඉන් පලාගොස් සිටි අයෙකු වන අතර, 2025 වසරේදී ප්‍රකාශයට පත්කළ පොදු සමාව යටතේ නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වූවෙකි. පොලිසිය සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින "ඩුබායි ප්‍රියංකර" නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවයි.




මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ සියල්ල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.