binara-poyada-thero-hospitalized-after-being-hit-by-a-stick

පසුගිය බිනර පුර පසළොස්වක පෝදා රාත්‍රී කාලයේදී මින්නේරිය මංගල බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන පූජ්‍ය රූපහ පඤ්ඤාදස්ස ස්වාමීන් වහන්සේට කිසියම් පුද්ගලයෙකු විසින් යකඩ පොල්ලකින් පහර දී තිබේ. මෙම සාහසික පහරදීම හේතුවෙන් තුවාල ලැබූ උන්වහන්සේ මේ වන විට ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් පොලිස් ආරංචි මාර්ග තහවුරු කළේය.




මින්නේරිය පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලට අනුව මෙම අවාසනාවන්ත සිදුවීම විහාරස්ථාන භූමිය තුළදීම සිදුවී ඇති අතර, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මුදල්මය ආරවුලකි. ස්වාමීන් වහන්සේට යකඩ පොල්ලෙන් පහර දෙන අවස්ථාවේදී එය වැළැක්වීමට මැදිහත් වූ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහ අදාළ ප්‍රහාරකයා අතරද එම අවස්ථාවේදී දැඩි ගැටුමක් හටගෙන ඇත.

එම ගැටුමෙන් තුවාල ලැබූ එක් අයෙකු මෙන්ම හිමිනමට පහර දුන් ප්‍රධාන සැකකරුද තුවාල ලබා මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන මින්නේරිය පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටියි.