පසුගිය පෝය දින රක්වාන ප්‍රදේශයෙන් ඛේදජනක ඝාතන සිදුවීමක් වාර්තා වී තිබේ. රක්වාන, කන්දකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි දෙදරු මවක් වූ නාවලගේ නදිකා ජයමාලි වික්‍රමරත්න නමැති කාන්තාව මෙසේ ඝාතනයට ලක්වී ඇත.
ඇයගේ මරණයට හේතු වී ඇත්තේ බීමතින් නිවසට පැමිණි ඇගේ සැමියා විසින් සිදුකළ බව කියන අමානුෂික පහරදීමකි. මෙම පහරදීම සිදුකළ සැකකාර සැමියා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව රත්නපුර උප කඳවුරක සේවය කරන අයෙකු බව පොලීසිය විසින් තහවුරු කර ඇත.ඉකුත් 25 වන දින සැකකරු සිය මාසික වැටුප ලබාගෙන, රාත්‍රී ආහාරය සඳහා හෝටලයකින් ෆ්‍රයිඩ් රයිස් ද රැගෙන නිවසට පැමිණ ඇත. බීමතින් සිටි ඔහු සහ බිරිඳ අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව විමර්ශන වලදී හෙළි වී තිබේ. එහිදී නිවසේ තිබූ කෝපි පොල්ලකින් ඔහු විසින් බිරිඳගේ හිසට සහ ශරීරයට දැඩි ලෙස පහර දී ඇති බවට පොලීසිය සැක කරන අතර, පහරදීමට යොදාගත් බව කියන කෝපි පොල්ල ද නිවසේ තිබී සොයාගෙන ඇත. මියගිය කාන්තාවගේ සිරුරේ තුවාල ද නිරීක්ෂණය වී තිබේ. කෙසේ වෙතත්, සැකකරු පොලීසියට පවසා ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී තමන් බිරිඳව තල්ලු කළ බවත්, එහිදී ඇගේ හිස ඇඳෙහි පොල්ලක වැදී මෙම අනතුර සිදුවූ බවත්ය.
පහරදීමෙන් අනතුරුව, අලුයම 2.00 ට පමණ සැකකරු ඇය පිළිබඳව සොයා බැලීම සඳහා කාමරයට ගිය අවස්ථාවේදී බිරිඳ ඇඳ මත මියගොස් සිටිනු දැක ඇත. ඉන්පසු ඔහු මේ පිළිබඳව අසල්වාසීන්ට දැනුම් දී ඇති අතර, අසල්වාසීන් විසින් රක්වාන පොලීසියට සහ හදිසි ගිලන් රථ සේවාවට මේ බව වාර්තා කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය විසින් කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකකාර සැමියාව අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී. ඉන් අනතුරුව මෘත දේහය කහවත්ත මූලික රෝහල වෙත යොමු කර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර එහි සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරු ඉකුත් 27 වනදා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. රත්නපුර සහකාර පොලිස් අධිකාරී එස්.ඩී.පී. මීගහපොල මහතාගේ අධීක්ෂණය යටතේ රක්වාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
