an-elephant-died-after-being-shot-in-a-toilet-pit-at-the-shantha-lena-aranya-senasana-grounds

කැකිරාව, මැදවැව ප්‍රදේශයේ පිහිටි ශාන්ත ලෙන ආරණ්‍ය සේනාසන භූමියේ බැතිමතුන්ගේ භාවිතය වෙනුවෙන් ඉදිකර තිබූ වැසිකිළි වළක් තුළට වැටී මියගොස් සිටි ඇතකුගේ සිරුරක් සොයාගැනීමට ගනේවල්පොළ වනජීවී නිලධාරීහු සමත් වූහ.




ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දැනුම්දීමකට වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන්, අදාළ ස්ථානයට පැමිණ සිදුකළ මූලික විමර්ශනයේදී මෙම මළසිරුර හඳුනාගෙන තිබේ.

එහිදී මියගිය ඇතාගේ සිරුර පරීක්ෂා කළ නිලධාරීන්ට උගේ පිට කොන්ද ප්‍රදේශයේ තිබී වෙඩි පහරක් යැයි අනුමාන කළ හැකි තුවාලයක් ද නිරීක්ෂණය වී ඇත.




ඒ අනුව වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ, කිසියම් නාඳුනන පුද්ගලයකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් තුවාල ලබා දැඩි වේදනාවට පත් ඇතා මෙම භූමියට පැමිණ වැසිකිළි වළ මතුපිටට වී සිටින්නට ඇති බවයි.

එලෙස රැඳී සිටින අතරතුර සතාගේ බර දරාගත නොහැකිව වැසිකිළි වළේ ආවරණය කඩාගෙන යෑමෙන් ඇතා ඒ තුළට වැටී මියයන්නට ඇති බවට ද ඔවුන් වැඩිදුරටත් විශ්වාසය පළ කරති.



මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නිල වශයෙන් කරුණු වාර්තා කිරීමටත්, ඒ ඔස්සේ ඉදිරි විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමටත් පියවර ගන්නා බව ගනේවල්පොළ වනජීවී කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.