train-service-from-nawalapitiya-to-badulla-to-resume-from-december

නාවලපිටිය සිට බදුල්ල දක්වා වූ දුම්රිය ගමනාගමනය එළඹෙන දෙසැම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා මේ බව තහවුරු කළේය.




දිට්වා සුළි සුළඟත් සමඟ ඇති වූ නායයෑම් හේතුවෙන් දැඩි ලෙස හානියට පත් ග්‍රේඩ්වෙස්ටර්න් සහ නානුඔය දුම්රිය ස්ථානය ආශ්‍රිත මාර්ග කොටසේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා ඊයේ (07) පැවැති නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජයිකා (JICA) ආයතනය ලබාදුන් තාක්ෂණික නිර්දේශයන්ට අනුකූලව මෙම ස්ථායීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. නායයෑමේ අවදානම අවම කරමින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට පෞද්ගලික සමාගමක් විසින් සිදු කරනු ලබයි.




මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සඳහා නානුඔය දුම්රිය ස්ථානයේ විධායක ඉංජිනේරුවරයා ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික් විධායක ඉංජිනේරු කාර්යාලයේ තාක්ෂණික ඉංජිනේරුවරුන් පිරිසක් ද එක්ව සිටියහ.