
දිවයින පුරා පිහිටි සූර්ය බලශක්ති පද්ධති හිමියන්ගෙන් විශාල පිරිසකට හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් මෙරට සූර්ය පැනල සවිකිරීමේ කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බව සුනිත්‍ය බලශක්ති සුරකින්නන්ගේ සංගමය පවසයි. දිවයින පුරා සිටින එක්ලක්ෂ තිස්දහසක් පමණ වන සෝලා පැනල් හිමියන් අතුරින් සියයට හැත්තෑපහකට අධික සංඛ්‍යාවකට බලධාරීන් විසින් මෙතෙක් මුදල් ගෙවා නොමැති අතර, තම ඉඩකඩම් සහ වාහන පවා විකුණා මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ පිරිස් මේ වන විට දැඩි අසරණභාවයට පත්ව සිටිති.
මෙම අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙරට සූර්ය පැනල සවිකිරීමේ ක්ෂේත්‍රයේ නිරතව සිටි දේශීය සමාගම් හයසීයෙන් හරි අඩක්, එනම් සමාගම් තුන්සීයක් පමණ මේ වන විට සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව සුනිත්‍ය බලශක්ති සුරකින්නන්ගේ සංගමයේ සභාපති දර්ශන ලියනසේකර මහතා සඳහන් කළේය. එම වැසීගිය සමාගම්වල සේවය කළ විසිදහසක් පමණ වූ සේවක පිරිස අතුරින් සියයට අසූවකට ආසන්න සංඛ්‍යාවකට වර්තමානය වන විට තමන්ගේ ජීවනෝපාය සහ රැකියා අහිමි වී තිබේ.
පුනර්ජනනීය බලශක්ති කර්මාන්තකරුවන් මෙවැනි අසීරුතාවකට මුහුණ දී සිටින පසුබිමක, මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කරන ලද නව පෝෂක අයක්‍රම හේතුවෙන් කර්මාන්තය තවදුරටත් අගාධයට ඇද දමා ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි. රජය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය නගාසිටුවීමට කටයුතු කරන බව පැවසුවද, ඉදිරිපත් කර ඇති මිල ගණන් යටතේ ඇතැම් කාණ්ඩ සඳහා මුදල් වැඩිවී ඇත්තේ රුපියල් දෙකකින් පමණක් බවත්, මෙය මහජනතාව රැවටීමේ අරමුණින් සිදුකළ ප්‍රෝඩාවක් මිස කර්මාන්තයට ලැබුණු සහනයක් නොවන බවත් ඔහු චෝදනා කරයි.
රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට තිස්පහක් පමණ සපයන පෞද්ගලික ඩීසල් බලාගාර හිමියන්ට කිසිදු හිඟයකින් තොරව නියමිත වේලාවට මුදල් පියවීමට බලධාරීන් කටයුතු කරන බවත්, ආනයනය කෙරෙන සීමිත ඩීසල් සැපයුමෙන් පවා ප්‍රමුඛතාව ලබාදෙන්නේ එකී බලාගාරවලට බවත් දර්ශන ලියනසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දේශීය, පරිසර හිතකාමී සහ වැයබර අඩු සූර්ය බලශක්තිය විනාශ වීමට ඉඩහැර, විශාල වශයෙන් විදේශ විනිමය රටින් ඇදී යන ඩීසල් බලාගාර දිරිමත් කිරීමට හා නඩත්තු කිරීමට රජය කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයකි.