කොටදෙනියාව පොලිස් වසමට අයත් දොරොව්ව ප්‍රදේශයේදී පසුගිය 06 වනදා පස්වරුවේ සිදුවූ බස්-යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු සතුව තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා 'අයිස්' මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් සොයා ගැනීමට කොටදෙනියාව පොලිසිය සමත්ව තිබේ.
යතුරුපැදිය සහ බස් රථය මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මෙම බිහිසුණු අනතුරෙන් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු තදබල ලෙස තුවාල ලබා සිටි අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඔවුන් වහාම දඹදෙනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
අනතුර සිදුවූ ස්ථානයේ පරීක්ෂණ පැවැත්වූ කොටදෙනියාව පොලිස් නිලධාරීන් විසින් තුවාලකරුවන් සතුව තිබූ ගමන් මළු පරීක්ෂා කිරීමේදී, ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති අතර එම ද්‍රව්‍ය වහාම පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි 21 සහ 25 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. දඹදෙනිය රෝහලේදී තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මොවුන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, දැනට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
කොළඹ සිට වෙනත් ප්‍රදේශයකට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් මෙම අනතුරට මුහුණ දුන්නේද නැතහොත් කිසියම් මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ පිරිසක්ද යන්න හෙළි කරගැනීම සඳහා කොටදෙනියාව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.