seventeen-year-old-boy-tries-to-walk-from-india-to-see-his-girlfriend-in-sri-lanka

මුහුණු පොත හරහා ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් මත තම පෙම්වතිය හමුවීමට ඉන්දියාවේ රාමේශ්වරන් ප්‍රදේශයේ සිට නීති විරෝධී ලෙස මෙරටට පැමිණි දාහත් හැවිරිදි ඉන්දීය ජාතික ළමයෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ. පසුගිය 12 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පිරිමි ළමයා පරිවාස භාරයට පත් කිරීමට අධිකරණය නියෝග කළේය.




ඉකුත් 11 වැනිදා සවස් කාලයේ මන්නාරම තම්මැන්නා නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සාගර මුර සංචාරයක නිරතව සිටියදී, ආදම්ගේ පාලම ලෙස හැඳින්වෙන වැලි පර සමූහයේ හයවැනි වැලි පරයේ මෙම ළමයා තනිව සිටිනු දැක අත්අඩංගුවට ගෙන ඇත. සොයාගන්නා අවස්ථාවේදී ඔහු ළඟ තිබී පෙම්වතියගේ ඡායාරූපයක්, ඇය විසින් එවන ලද පෙම් හසුනක් සහ ඉන්දීය රුපියල් 280 ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ පාසල් ගමන අතහැර ධීවර රැකියාවේ නිරත වන මෙම පිරිමි ළමයා මාස කිහිපයකට පෙර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කිලිනොච්චිය මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි දැරියක හඳුනාගෙන ඇති බවයි. පෙම්වතියගේ ඇරයුම මත ඇය හමුවීමට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වුවද, බෝට්ටු ගමන සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් නොතිබීම නිසා තමා පැළඳ සිටි රන් මාලය බෝට්ටුකරුට ලබා දී මෙරටට පැමිණි බව ඔහු පවසා ඇත. කෙසේ වෙතත්, බෝට්ටුව පදවාගෙන පැමිණි පුද්ගලයා මෙම ළමයා වැලි පරයේ අතරමං කර නැවත ඉන්දියාව බලා පලා ගොස් තිබේ.




අත්අඩංගුවට පත් ඉන්දීය ජාතික පිරිමි දරුවා පිළිබඳ සියලු තොරතුරු මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දීමට පොලිසිය පියවර ගෙන ඇත. මන්නාරම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් රංජිත් මහතාගේ අධීක්ෂණයෙන් සහ සහකාර පොලිස් අධිකාරි (I) දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත තලෙයිමන්නාරම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් බැද්දෙවිතාන මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.