62-million-women-out-of-sri-lankas-workforce

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 සහ ඊට වැඩි ජනගහනයෙන් පුද්ගලයින් 8,625,859 දෙනෙකු ශ්‍රම බලකායට දායක නොවී පිටත සිටිති. මෙය අදාළ වයස් කාණ්ඩයේ සමස්ත ජනගහනයෙන් සියයට 50.6ක ප්‍රතිශතයකි.

මෙලෙස රැකියා නියුක්ත නොවූ හෝ රැකියා සඳහා නොපැමිණෙන පිරිස අතරින් සියයට 72ක්ම කාන්තාවන් වන අතර, එම සංඛ්‍යාව 6,185,730කි. ශ්‍රම බලකායෙන් බැහැරව සිටින පිරිමින්ගේ සංඛ්‍යාව 2,440,129ක් ලෙස සටහන් වේ.




මෙම දත්තයන්ට අනුව මෙරට ශ්‍රම වෙළෙඳපොළ තුළ බරපතල ලෙස ස්ත්‍රී පුරුෂ විෂමතාවක් මතුව තිබේ. වයස අවුරුදු 15 සහ ඊට වැඩි පිරිමින්ගේ ශ්‍රම බලකා සහභාගීත්වය සියයට 69.1ක් ලෙස සටහන් වන විට, කාන්තා සහභාගීත්වය සියයට 32.4ක පහළ මට්ටමක පවතී. 2025 වසරේ සමස්ත විරැකියා අනුපාතය සියයට 3.9ක් වූ අතර, රැකියා විරහිත මුළු සංඛ්‍යාව 329,211ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එහිදී පිරිමි විරැකියා අනුපාතය සියයට 2.8ක් වන අතර, කාන්තා විරැකියා අනුපාතය සියයට 6.1ක් ලෙස පිරිමි අගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. 2018 සිට 2025 දක්වා කාලය පුරාවටම මෙම තත්ත්වය පැවති අතර, ගෘහස්ත කටයුතු සහ වැටුප් රහිත සත්කාරක සේවාවන්හි නිරත වීමට සිදුවීම කාන්තාවන්ට රැකියා සඳහා පිවිසීමට සහ එහි රැඳී සිටීමට ඇති ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගෙන ඇත.

ප්‍රදේශ මට්ටමින් සලකා බැලීමේදී, ශ්‍රම බලකායෙන් පිටත සිටින පිරිසෙන් බහුතරය ග්‍රාමීය අංශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 7,076,080කි. නාගරික ප්‍රදේශවලින් එවැනි පුද්ගලයින් වාර්තා වන්නේ 1,549,778ක් පමණි. සමස්ත විරැකියා ප්‍රතිශතය ක්ෂේත්‍ර අනුව වර්ගීකරණය කිරීමේදී නාගරික අංශයේ සියයට 3.4ක් ද, ග්‍රාමීය අංශයේ සියයට 4.0ක් ද, වතු අංශයේ සියයට 4.8ක් ද ලෙස සටහන් වේ.




දිස්ත්‍රික් මට්ටමින් ඉහළම විරැකියා අනුපාතය හම්බන්තොටින් වාර්තා වන අතර එය සියයට 6.6කි. කෑගල්ල (6.0%), මාතලේ (5.9%) සහ මහනුවර (5.9%) යන දිස්ත්‍රික්ක ද ඉහළ විරැකියාවක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. ඊට පටහැණිව, අඩුම විරැකියා අනුපාතය වාර්තා වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් (0.6%) වන අතර, මුලතිව් (1.7%) සහ මන්නාරම (1.8%) යන දිස්ත්‍රික්කවල ද විරැකියාව පහළ මට්ටමක පවතී. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ විරැකියාව සියයට 3.0ක් ලෙසත්, යාපනය සියයට 3.4ක්, බදුල්ල සියයට 4.1ක්, මඩකලපුව හා කුරුණෑගල සියයට 4.3ක් බැගින් සහ මාතර සියයට 4.8ක් ලෙසත් සටහන් වී ඇත.