කොළඹ බැස්ටිඅන් මාවත පෞද්ගලික බස් නැවැතුම්පොළේ නවතා තිබූ බස් රථවල මාර්ග යෝග්‍යතාව සහ වායු විමෝචනය පරීක්ෂා කිරීම සඳහා විශේෂ රාත්‍රී මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහයෝගය ඇතිව වාහන වායු විමෝචන වැඩසටහන මගින් සංවිධානය කළ මෙම හදිසි පරීක්ෂාවේදී බස් රථ 59ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් රථ 39කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
දහවල් කාලයේදී ධාවනයේ නොයෙදෙමින් මෙවැනි පරීක්ෂණවලින් මිදී සිටින බස් රථ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබිණි.මෙහිදී ඩීසල් වෙනුවට භූමිතෙල් ඉන්ධන ලෙස යොදාගනිමින් ධාවනය කළ බස් රථ කිහිපයක්ද වාහන වායු විමෝචන වැඩසටහනේ නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. මීට සමගාමීව කිළිනොච්චිය ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල මාර්ග යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තවත් විශේෂ වැඩසටහනක්ද පසුගිය 22 වැනිදා දහවල් කාලයේදී වාහන වායු විමෝචන වැඩසටහන මගින් ක්‍රියාත්මක කර තිබේ.
මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පරිසරය සුරැකීම අරමුණු කරගනිමින් ධාවනයට නුසුදුසු මට්ටමේ පවතින බස් රථ හඳුනා ගැනීමේ මෙවැනි විශේෂ පරීක්ෂණ සතිපතා අඛණ්ඩව පැවැත්වීමට වාහන වායු විමෝචන වැඩසටහන තීරණය කර ඇත. ඉදිරියේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා එක්ව මෙම පරීක්ෂණ වැඩසටහන දිවයින පුරා සතිපතා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
