sri-lanka-ai-week-2026-begins-today-25

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-Mobitel ආයතනය එක්ව සංවිධානය කරනු ලබන "2026 ශ්‍රී ලංකා කෘත්‍රිම බුද්ධි සතිය" (Sri Lanka AI Week 2026) සැප්තැම්බර් 25 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ නගරය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන මෙරට තාක්ෂණික ඉතිහාසයේ සංවිධානය වන විශාලතම කෘත්‍රිම බුද්ධි මහෝත්සවය ලෙස ඉතිහාසයට එක්වන අතර, එමගින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි විභවය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.




ලෝකප්‍රකට කෘත්‍රිම බුද්ධි නායකයන්, තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, නවෝත්පාදකයන් මෙන්ම ව්‍යාපාරික නායකයන් රැසක් එකම වේදිකාවකට ගෙන එන මෙම දැවැන්ත වැඩසටහන ප්‍රධාන ඉසව් පහකින් සමන්විත වේ. ඒ අනුව AI හැකතන් තරගාවලිය, AI නායකයින්ගේ රාත්‍රිය, AI සමුළුව, AI ප්‍රදර්ශනය සහ ජාතික AI සම්මාන උළෙල ලෙස අංග කිහිපයක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම සතියේ ප්‍රධානතම සංදර්ශනයක් වන කෘත්‍රිම බුද්ධි සමුළුව සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින පුරා කොළඹ මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පැවැත්වේ. ලොව පුරා රටවල් 16කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 60 දෙනෙකුට වැඩි පිරිසක් ඊට අදහස් දැක්වීමට නියමිත අතර, Google, Huawei, ZTE, Deloitte සහ Alibaba වැනි ගෝලීය තාක්ෂණික යෝධයන්ගේ නියෝජිතයෝ ද ඊට එක්වෙති. ගෝලීය වශයෙන් සිදුවන නවතම AI වර්ධනයන් සහ ඒවා ශ්‍රී ලාංකේය ව්‍යාපාර මෙන්ම සමස්ත ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙන අතර, www.aiexpo.lk වෙබ් අඩවිය හරහා හෝ PickMe සහ OneTicket යෙදවුම් ඔස්සේ ඊට අදාළ ප්‍රවේශපත්‍ර ලබාගත හැක.




සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති විශේෂ AI ප්‍රදර්ශනය අදාළ දිනවලදී උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා මහජනතාව සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ විවෘතව තැබේ. අති නවීන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සහ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරන ආයතන 35කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ වන්නේ, ලෝකයේ අලුත්ම තාක්ෂණික මෙවලම් ශ්‍රී ලාංකික ජනතාවට සමීපව හඳුන්වා දීම සහ අත්විඳීමට මගපාදා දීමයි.