කිතුල්ගල, මහබාගේ ප්‍රදේශයේ පිහිටි මන්නකැති ඇල්ලෙන් නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු සැඩපහරට හසුව ගසාගෙන යාමේ පුවතක් කිතුල්ගල පොලිසියෙන් වාර්තා වේ. පසුගිය 23 වනදා පස්වරුවේ මෙම අනතුර සිදු වී තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට මුහුණ දී ඇත්තේ එම දියඇල්ල ආසන්නයේ පිහිටි හෝටලයක සේවය කළ තරුණයන් දෙදෙනෙකි. ඔවුන් ගම්පොල, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි හසිත ඉමාෂ් සහ අඹගමුව, උඩබුලත්ගම පදිංචි 21 හැවිරිදි දිමුතු තරංග ගුණරත්න ලෙස හඳුනාගෙන ඇත.
සිදුවීම වූ දින පස්වරුවේම දියඇල්ලට පහළ ප්‍රදේශයක තිබී එක් තරුණයෙකුගේ සිරුර සොයා ගැනීමට පොලිසියට සහ ප්‍රදේශවාසීන්ට හැකි වී තිබේ. එම සිරුර මේ වන විට කිතුල්ගල රෝහලේ තැන්පත් කර ඇත.
දිය පහරට හසුව අතුරුදහන් වූ අනෙක් තරුණයා සොයා කිතුල්ගල පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ සෙවීමේ මෙහෙයුමක් තවදුරටත් සිදු කරනු ලබයි.
