නිට්ටඹුව නව වෙළෙඳ සංකීර්ණයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයකින් ස්වයංක්‍රීයව පිටතට පැමිණි රුපියල් අට ලක්ෂ හතළිස් හතර දහසක (844,000) මුදලක් අහුලාගෙන, එය අදාළ බැංකු ශාඛාවේ කළමනාකාරවරයා වෙත භාර දීමට නිට්ටඹුව නගරයේ තරුණ ව්‍යාපාරිකයකු කටයුතු කර තිබේ. මෙලෙස ආදර්ශමත් ලෙස මුදල් නැවත භාර දී ඇත්තේ නිට්ටඹුව නව එක්සත් වෙළෙඳ සංගමයේ හිටපු ලේකම්වරයකු මෙන්ම ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු වන පී.වී. හිරාන් පීරිස් මහතා විසිනි.
පසුගිය 18 වැනි සිකුරාදා දහවල් 1.00 ට පමණ සිය විදුලි බිල්පත ගෙවීම සඳහා බැංකු පරිශ්‍රයේ පිහිටි ඒ.ටී.එම්. කුටිය වෙත ගිය අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ දුන් බව හිරාන් පීරිස් මහතා පැවසීය. ඔහු මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය භාවිතා කිරීමට සූදානම් වනවාත් සමඟම එහි මුදල් ඇතුළත් කරන කවුළුව එකවරම විවෘත වී ඇති අතර, ඒ තුළ රුපියල් පන්දහසේ නෝට්ටු සහිත මුදල් මිටියක් තිබෙනු දැක තිබේ. වහාම ක්‍රියාත්මක වූ ඒ මහතා එම මුදල් මිටිය අතට ගෙන, ආරක්ෂක අංශයට පවා නොපවසා කෙළින්ම බැංකු ශාඛාව ඇතුළතට ගොස් ඇත.
එම අවස්ථාවේ බැංකු කළමනාකාරවරයා දිවා ආහාරය සඳහා ඉහළ මහලට ගොස් සිටි බැවින්, ව්‍යාපාරිකයා උඩු මහලටම ගොස් සිද්ධිය පැහැදිලි කරමින් අදාළ මුදල් මිටිය කළමනාකාරවරයා වෙත භාර දී තිබේ. ඉන් පැයකට පමණ පසුව බැංකු කළමනාකරු දුරකථනයෙන් අමතා ව්‍යාපාරිකයා නැවත බැංකුවට ගෙන්වාගෙන ඇති අතර, එහි රුපියල් අට ලක්ෂ හතළිස් හතර දහසක මුදලක් තිබූ බව තහවුරු කරමින් ඔහුගේ අතිශය දුර්ලභ සමාජීය ගුණය අගය කර ඇත. එමෙන්ම, අදාළ මුදලේ නිසි හිමිකරු සොයා භාර දීමට කටයුතු කරන බව පැවසූ කළමනාකාරවරයාට අමතරව පසුව බැංකු නිලධාරීන් දෙදෙනෙකු ද ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ස්තුති කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අදාළ රාජ්‍ය බැංකු ශාඛාවේ කළමනාකාරවරයා සඳහන් කළේ, සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුදලේ හිමිකාරිය සොයාගත් බවයි. අදාළ යන්ත්‍රයෙන් එකවර ගිණුම්ගත කළ හැක්කේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් පමණක් වුවද, ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ අදාළ ගනුදෙනුකාරිය විසින් රුපියල් 844,000 ක මුදලක් යන්ත්‍රයට ඇතුළත් කර පිටව ගොස් තිබූ බව හෙළි වී ඇත. එම මුදල් යන්ත්‍රය තුළ සිරවීමෙන් පසු ස්වයංක්‍රීයව කවුළුව ඇරී රුපියල් පන්දහසේ නෝට්ටු පිටතට පැමිණි අවස්ථාවේදීම මෙම ව්‍යාපාරිකයාට එම මුදල හමු වී තිබේ.
