
බද්දේගම පොලිස් වසමේ හල්පතොට, වවුලගල ප්‍රදේශයේදී බද්දේගම - හික්කඩුව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් එල්ල කළ ටී-56 ගිනි අවි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක බරපතළ තුවාල ලබා තිබේ. අද (27) පෙරවරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ස්ථානයේදීම මියගිය අතර, එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කුළීගොඩ / මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි තිදරු පියෙකු වන ලලිත් සුසන්ත ද සිල්වා නමැති ත්‍රීරෝද රථ රියදුරා සහ අම්බලන්ගොඩ, ගොඩහේන, රතුකුරුස නිවාස තීරයේ පදිංචිව සිටි 'කළු නෝනි' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 47 හැවිරිදි සුසිතා ඉරෝෂනී නැමැති කාන්තාවයි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඩී.එන්.ජී. මල්ලිකා නමැති අනෙක් කාන්තාව මියගිය සුසිතා ඉරෝෂනීගේ මව වන අතර, ඇය මේ වන විට කරාපිටිය ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ පැවැති නඩුවකට අදාළව ඉරිදා දිනයේ සිදුකරන අත්සන් තැබීම සඳහා පැමිණ නැවත අම්බලන්ගොඩ දෙසට යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු රථයෙන් බැස ත්‍රීරෝද රථයේ මාර්ගය හරස් කරමින් වෙඩි තබන අයුරු ආසන්නයේ තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව ඇති අතර, ප්‍රහාරයෙන් පසුව සැකකරුවන් හික්කඩුව දෙසට පලාගොස් තිබේ.
මියගිය කාන්තාව ලද්දුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් 'ලොකු පැටී' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ තැනැත්තියක බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් 'කරන්දෙණිය සුද්දා' නැමැත්තා විසින් මෙහෙයවන ලද්දක් බවට පොලිසිය සැක කරයි. ප්‍රහාරයට වගකිවයුතු සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා බද්දේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
