දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට නැගෙනහිරින් පිහිටි එකූර්හුලෙනි කලාපයෙන් 2026 ජූලි 15 වන දින සිට මේ දක්වා කාන්තාවන් දස දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති අතර, එහි දහවන මළසිරුර සැප්තැම්බර් 26 වන සෙනසුරාදා තෙම්බිසා සවුත් හි මූයිෆොන්ටේන් සුසාන භූමිය අසලින් හමුවී තිබේ. මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් අනුක්‍රමික ඝාතකයෙකු ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දකුණු අප්‍රිකානු පොලීසිය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, සමහර මරණ අතර සමාන රටාවක් පැවතියද සියලුම සිදුවීම් එකම පුද්ගලයෙකු විසින් සිදුකරන ලද්දක් බවට නිගමනය කළ නොහැකි බව බලධාරීහු පවසති.
මෙම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සඳහන් කරන්නේ සමහර සිදුවීම් සඳහා දැනටමත් වෙනම සැකකරුවන් හඳුනාගෙන ඇති බැවින් අනුක්‍රමික ඝාතනයක් බවට සෘජුවම ප්‍රකාශ කිරීම තවමත් ප්‍රවේශම් සහගත නොවන බවයි.සැප්තැම්බර් 26 වන සෙනසුරාදා උදෑසන තෙම්බිසා සවුත් හි වුසිමුසි ප්‍රදේශයේ පිහිටි සුසාන භූමිය අසලින් සොයාගත් දහවන කාන්තාවගේ සිරුර අර්ධ වශයෙන් නිරුවත් තත්ත්වයේ පැවති අතර, පෙරදින රාත්‍රියේ ඇය ප්‍රදේශයේ මත්පැන් හලක සිටි බවට ඇගේ ඇඳුම් මගින් හඳුනාගත් මිතුරෙකු අනාවරණය කර ඇත. ගෝටෙං පළාත් පොලිස් කොමසාරිස් ලුතිනන් ජෙනරාල් ටොමී ම්තොම්බෙනි සිද්ධිය වූ ස්ථානයට පැමිණ ප්‍රකාශ කළේ ඇයට ගල් ප්‍රහාර එල්ල කර ඝාතනය කර ඇති බවට විශ්වාස කරන බවත්, මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වන බවත්ය. අනුක්‍රමික ඝාතකයෙකු සිටින බව මුළුමනින්ම බැහැර කළ නොහැකි නමුත් එය තහවුරු කිරීමටද තවමත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පැවසූ කොමසාරිස්වරයා, පළපුරුදු විමර්ශන කණ්ඩායමක් දිනපතා පරීක්ෂණ පවත්වන බවත් තොරතුරු ලබාදෙන්නෙකු සඳහා රැන්ඩ් 400,000 ක පොලිස් ත්‍යාග මුදලක් තවමත් පවතින බවත් සඳහන් කළේය.
මෙලෙස ජූලි මැද භාගයේ සිට හමුවූ මළසිරුරු දසයම එකූර්හුලෙනි කලාපයේ OR තම්බෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ R21 මහා මාර්ග කොරිඩෝව ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. ප්‍රථම සිරුරු පහ හමුවූ කෙම්ප්ටන් පාර්ක්, රෝඩ්ස්ෆීල්ඩ් සහ පොමෝනා ප්‍රදේශවලට අමතරව, ඔලිෆන්ට්ස්ෆොන්ටේන්, ක්වා-තේමා, ඩෝන් පාර්ක් සහ අවසානයට සිරුර හමුවූ තෙම්බිසා සවුත් මේ අතර වේ. මෙම ස්ථාන එකිනෙකට කිලෝමීටර 15 ත් 35 ත් අතර පරතරයකින් පිහිටා ඇති අතර, ඒවා ජොහැන්නස්බර්ග් හි ප්‍රධාන ගමනාගමන සහ කාර්මික කලාපයට අයත් වෙයි.
සිද්ධීන්ගේ කාලරාමුව දෙස බැලීමේදී, ජූලි 15 වන දින ප්‍රථමයෙන්ම බුසිසිවේ මහ්ලංගු ගේ සිරුර නිරුවත් කර ගැටගසා තිබියදී සොයාගත් අතර දින දෙකකට පසු ඇගේ සහකරු අත්අඩංගුවට ගනු ලැබීය. අගෝස්තු 3 වන දින පොමෝනා හිදී ඉතුමෙලෙං කෙකානා ගේ සිරුරද, අගෝස්තු 26 වන දින නොම්ෆෙසානේ ම්ජෝබෝ ගේ සිරුරද හමු විය. සැප්තැම්බර් මාසයේදී මෙම ඝාතන වේගවත් වූ අතර, සැප්තැම්බර් 7 වන දින හඳුනානොගත් කාන්තාවකගේ සිරුරද, සැප්තැම්බර් 10 වන දින ග්‍රේසියස් න්කොමෝ ගේ සිරුරද, සැප්තැම්බර් 12 වන දින පස්වරුවේ ව්‍යායාම සඳහා ගොස් අතුරුදහන් වූ 38 හැවිරිදි එලිසබෙත් "ට්සොන්ට්සෝ" මොසෙලක්ගෝමෝ ගේ සිරුරද සොයාගන්නා ලදී. පසුව සැප්තැම්බර් 14 වන දින තවත් කාන්තාවකගේ සිරුරද, සැප්තැම්බර් 15 වන දින දිනියෝ එවෙලින් මොටපානේ ගේ සිරුරද, සැප්තැම්බර් 17 වන දින ජබුලිලේ න්තිම්බා ගේ සිරුරද හමුවිය. නවවෙනි මළසිරුර වූ ජබුලිලේ න්තිම්බාගේ ඝාතනය ප්‍රේම සම්බන්ධතාවයක් මත පදනම් වූ වෙනම සිදුවීමක් ලෙස සැලකෙන අතර, ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය කාන්තාවන්ගෙන් වැඩිදෙනෙකු වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන කළුජාතික කාන්තාවන් වන අතර, ඔවුන්ගේ සිරුරු අර්ධ වශයෙන් නිරුවත් කර, කපා කොටා හෝ ගැටගසා විවෘත භූමි, මාර්ග දෙපස හෝ සුසාන භූමිවල දමා තිබිණි. සමහර කාන්තාවන් තනිව ගමන් කරමින් සිටියදී අතුරුදහන් වී ඇති අතර, කුලී රථ රියදුරෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු මොවුන් පැහැරගන්නට ඇති බවටද විද්වතුන් සැක පහළ කරයි. දකුණු අප්‍රිකාව තුළ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස පැතිර පවතින පසුබිමක, මෙම ඝාතන රැල්ල හේතුවෙන් ප්‍රදේශවාසීන් තුළ විශාල භීතියක් සහ කනස්සල්ලක් හටගෙන තිබේ.
