ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2024 වාර්තාවකට අනුව, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවී ඇති දැවැන්ත සොරකම් හේතුවෙන් රුපියල් මිලියන 1,770 කට අධික පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වේ.
2021 සිට 2023 දක්වා කාලසීමාව තුළ මෙම අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි සහ ආලෝක කණු සොරාගැනීමේ සිද්ධීන් සියයක් පමණ වාර්තා වී ඇත. මින් සිද්ධීන් එකොළහක් සඳහා පමණක් රුපියල් මිලියන 580 ක පාඩුවක් සිදුව ඇති බවට ගණනය කර ඇති අතර, ඉතිරි සොරකම් අසූනවය සඳහා නිශ්චිත වටිනාකමක් මෙතෙක් තක්සේරු කර නොමැත.
මෙම මාර්ගයේ මධ්‍යයේ පිහිටුවා ඇති විදුලි රැහැන් පද්ධතිය සම්පූර්ණ කොන්ක්‍රීට් ආවරණයකින් සුරක්ෂිත කර නොතිබීම මෙලෙස පහසුවෙන් කපාගෙන යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ක්ෂේත්‍ර පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. 2021 වර්ෂයේදී ප්‍රථම සොරකම වාර්තා වූ අවස්ථාවේ සිට නිසි ආරක්ෂිත පියවරයන් අනුගමනය නොකිරීම සහ අදාළ බලධාරීන් විසින් ප්‍රමාණවත් පියවර නොගැනීම මෙම අපරාධ අඛණ්ඩව සිදුවීමට ඍජුවම බලපා ඇත.
මුල් කිලෝමීටර දහය සඳහා වන ඉංජිනේරු තක්සේරු වාර්තා මත පදනම්ව බලන කල, සමස්ත මාර්ගයේම සිදුව ඇති අලාභය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 1,770 ඉක්මවනු ඇති බව විගණන නිලධාරීහු පෙන්වා දෙති. මෙතරම් විශාල ජාතික ධනයක් විනාශ වුවද ඊට වගකිවයුතු පුද්ගලයන් නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබීමද මෙහිදී විශේෂයෙන් නිරීක්ෂණය කර තිබේ. මේ සියල්ල අතරතුර, 2026 වසරේ ජුනි මාසය වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත, රුපියල් බිලියන 1.0985 ක වියදමින් යුත් නව ආලෝකකරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
