his-family-did-not-want-this-relationship---kalana

පසුගිය සතියේ යුග දිවියට පිවිසි ප්‍රකට රංගන ශිල්පී කලන ගුණසේකර සිය විවාහය සිදුවූ ආකාරය හා ඇගේ මනාලිය ගැන සතිඅන්ත පුවත්පතකට විස්තර සපයා තිබේ. මේ සමග පළවන්නේ එම සාකච්ඡ‍‍ාවයි.




ප්‍රශ්නය: කලණට රුචිනිව මුලින්ම මුණගැහුණේ කොහොමද...?

මීට අවුරුදු කිහිපයකට පෙර ගයාත්‍රී කේමදාස පදනමේ වැඩසටහනක් තිබුණා. මමත් ඒකට සම්බන්ධ වුණා. එදා තමයි මට මුලින්ම රුචිනිව මුණගැහුණේ. අපි හඳුනාගත්තා. හැබැයි, ඒ වෙලාවේ අපි අතර ලොකු කතාබහක් නම් සිද්ධ වුණේ නැහැ.




ඊට ටික කාලෙකට පස්සේ, 'තප්‍රෝබේන්' හිදී ‘ප්‍රේමණීය සරා’ කියන මගේ පොත දොරට වැඩියා. මම හිතන්නේ ඒ මීට අවුරුද්දකට විතර කලින්. ඒ කාලයේදී මම වැඩි වශයෙන්ම හිටියේ පොතත් එක්ක. ඒ අවස්ථාවේදී තමයි රුචිනියි මායි අතරේ හොඳ හඳුනාගැනීමක් ඇති වුණේ.

එතැනින් පටන් ගත්ත ඒ හඳුනාගැනීම, අවුරුදු හයක් වගේ කාලයක් පුරාවට ලස්සන ආදරණීය බැඳීමක් බවට පත්වුණා.



ප්‍රශ්නය: රුචිනිගේ හිත ළඟ නතර වෙන්නත්, ඇයට ආදරය කරන්නත් තරම් ඇය ළඟ තිබුණු සුවිශේෂිකම් මොනවාද...?

රුචිනි කියන්නේ මාව ඉතාමත් හොඳින් තේරුම් ගත්තු, හොඳ මනුස්සයෙක්. ඒකම තමයි මගේ හිත එයා ළඟ නතර වෙන්න ප්‍රධානම හේතුව වුණේ. එයා ගායිකාවක්. අපේ ජීවිතය හරිම අමුතු එකක්. ඒ ජීවිතයත් එක්ක එන දේවල් දරාගන්න හැමෝටම බැරි වෙන්න පුළුවන්.

හැබැයි, රුචිනිට ඒ හැම දෙයක්ම තේරුම් අරගෙන දරාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපි අතරේ ඇති වුණේ එකපාරටම ආපු ආදරයක් නෙවෙයි. අපේ කතාබහත් එක්ක, එකිනෙකාව තේරුම් ගනිමින් ටිකෙන් ටික ඇතිවුණු ආදරයක්. අවුරුදු ගාණක් තිස්සේ ඒ ආදරය හරියට ගහක් වගේ ටිකෙන් ටික වැඩුණා. ඒ නිසා ඒ ගහේ මුල් හොඳටම හයියයි කියලා මට හිතෙනවා.

ප්‍රශ්නය: රුචිනි වෘත්තියෙන් කවුද...?

රුචිනි රැකියා කිහිපයක්ම කරලා තියෙනවා. මුලින්ම ඇය මූල්‍ය ආයතනයක රැකියාවක් කළා. ඒ අතරතුර ඇගේ ජීවිතයේ කලාවත් එක්ක තිබුණු සම්බන්ධයත් ටිකෙන් ටික ඉදිරියට ගියා. විශේෂයෙන්ම සංගීතයත් එක්ක ඇයට තිබුණු බැඳීම නිසා, ඇය ගායිකාවක් විදිහටත් මේ ක්ෂේත්‍රයේ රැඳිලා වැඩ කරලා තියෙනවා.

ඇය ගීත නිර්මාණය කරලා තියෙනවා, විවිධ වැඩසටහන්වලට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම ගයාත්‍රී කේමදාස පදනමත් එක්ක වගේම ඔපෙරා නිර්මාණවලත් බොහෝ වැඩ කරලා තියෙනවා.

ප්‍රශ්නය: කලණගේත් රුචිනිගේත් ආදරයට බාධාවන් ඇතිවුණේ නැද්ද...? දෙමව්පිය ආශීර්වාදය ලැබුණාද...?

මුලින්ම අපේ ආදරයට සෑහෙන්න බාධාවල් ආවා. විශේෂයෙන්ම එයාගේ ගෙදරින් මේ සම්බන්ධයට කැමැත්තක් තිබුණේ නැහැ.

ඇත්තටම ඒකට එයාලට සාධාරණ හේතුත් තිබුණා. ඒත් ඒ හැම දෙයක්ම මැද්දේ අපි දෙන්නා අතර ගොඩනැඟුණු බැඳීම අතහැරලා දාලා යන්න අපි සූදානම් වුණේ නැහැ.

කාලයත් එක්ක අපි එකිනෙකාව තේරුම් ගත්තා වගේම, එයාගේ අම්මත් තාත්තත් අපව තේරුම් ගන්න පටන් ගත්තා. ඒ විදිහට ටිකෙන් ටික දේවල් වෙනස් වුණා. අද වෙනකොට එයාලා එක්ක හරිම සුහදව ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ අයගේ ආශීර්වාදයත් අපිට ලැබිලා තියෙනවා.



ප්‍රශ්නය: විවාහ උත්සවය සඳහා වකවානු තීරණය කළේ කවුද...?

අපි මාස අටක්, අවුරුද්දක් වගේ කාලයක් තිස්සේ මේ දේට සූදානම් වුණා. මම කාලයක් තිස්සේ විවාහ වෙනවද, නැද්ද කියන දෙගිඩියාවෙන් ජීවත් වුණු මනුස්සයෙක්. ඒ ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ.

හැබැයි එක මොහොතක මට හිතුණා අපි වෙනස් වෙන්න ඕනේ, ජීවිතය දිහා වෙනස් විදිහට බලන්න ඕනේ කියලා. ජීවිතේ යන මේ ගමනේදී අපි දෙන්නාම දරන බර ටිකක් හරි සැහැල්ලු කරගන්න, අපිට අපිව තවත් ශක්තිමත් කරගන්න මොකක් හරි දෙයක් අවශ්‍යයි කියලා මට දැනුණා. ඒ නිසාම අපි කසාද ජීවිතයට යන්න ඕනේ කියන තීරණයට මම ආවා.

ඒ තීරණයත් එක්ක අපි දින වෙන් කරගෙන, අවසානයේ මේ දවස තීරණය කළා.

ප්‍රශ්නය: විවාහ උත්සව කටයුතු සිදුවන්නේ ඔයාගේ අදහසකටද රුචිනිගේ අදහසකටද...?

ඇත්තම කියන්නම්, මේ වෙලාවේ පිරිමියෙක් විදිහට මම හරිම ආසාවෙන් බලාගෙන හිටියේ රුචිනි මනමාලියක් විදිහට ලස්සනට හැඩ වෙනවා දකින්න. ඕනෑම ගැහැනු ළමයෙකුට තමන්ගේ විවාහ උත්සවය ගැන හරි අපූරු හීන තියෙනවා. ඒ හීන එයාගේ හිතේ කොච්චර ලස්සනට තියෙනවද කියලා මම දන්නවා.

මගේ ආදරය වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකුම දෙයක් වුණේ ඒ හීන හැබෑ වෙනවා බලාගෙන ඉන්න එක. ඒ සතුට එයා එක්කම විඳින එක. මගේ ආදරය තියෙන්නේ එතනයි. ඒ නිසාම විවාහ උත්සවය වෙනුවෙන් එයා කැමති ඕනෑම දෙයක් කරන්න මම එයාට ඉඩ දුන්නා.

එයාගේ හීන ඒ විදිහටම හැබෑ වෙනවා දකින එක මටත් ලොකු සතුටක්.

ප්‍රශ්නය: කලණ රංගන ශිල්පියෙක් වගේම හොඳ තිරපිටපත් රචකයෙක්. එයට අවශ්‍ය හිතේ නිදහස, මානසික සැහැල්ලුව ඇගෙන් ලැබෙන්නේ කොහොමද...?

පහුගිය කාලේ ලියවුණු සමහර පිටපත් සහ කතා ලියවෙද්දි රුචිනිත් මාත් එක්ක හිටියා.

පිටපතක මම පිරිමියාගේ පැත්ත දකිද්දි, ඇය ගැහැනු චරිතය දකිනවා. ඒ නිසා එකම සිදුවීමක් අපි දෙන්නා දකින්නේ දෙවිදිහකට.

උදාහරණයක් විදිහට, පිරිමියෙක් රෝස මලක් දකින විදිහයි, ගැහැනු කෙනෙක් රෝස මලක් දකින විදිහයි සමහර වෙලාවට වෙනස්. අන්න ඒ වෙනස අපේ කතාබහවලදී හොඳටම දැනුණා.

ඒ නිසා පිටපතක් ගැන, චරිතයක් ගැන කතා කරද්දි මම රුචිනිත් එක්ක සෑහෙන දේවල් කතාබහ කරලා තියෙනවා.

ප්‍රශ්නය: දැන් දෙන්නා අලුත් කැදැල්ලකට එකතු වුණා. ජීවිතේ කොහොමද...?

ජීවිතය හරිම හොඳයි. විසිතුන්වැනිදා අපේ විවාහ උත්සවය තියෙද්දි, මම විසිදෙවැනිදා ‘ගරා’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට සහභාගි වුණා. ඊට පස්සේ විසිපස්වැනිදා ‘ධර්ම යුද්ධය’ රූගත කිරීම්වලටත් නැවත සම්බන්ධ වුණා. ඊට පස්සේ දවස් කිහිපයක් පුරාවටම වෙනත් රූගත කිරීම්වලටත් සහභාගි වෙන්න තියෙනවා.

ඒ කාලය තුළ රුචිනි එයාගේ අම්මලා එක්ක ඉඳීවි. ඊට පස්සේ අපි දෙන්නා වෙනුවෙන් වෙන් කරගත්තු අපේම ගෙදරක, අපේම ජීවිතයක් පටන් ගන්න සූදානම් වෙනවා. ඉස්සරහට මොන මොන දේවල් ආවත්, අපි දෙන්නාගේ සහයෝගයෙන්, එකිනෙකාව තේරුම් අරගෙන, සරලව සහ සතුටින් මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

-දිශානි ජයමාලි කරුණාරත්න (සඳැල්ල)

gossiplanka image