
මැලේසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම සගයා වන 'රත්මලානේ සයිමා' ඇතුළු පාතාල ක්‍රියාකාරීන් තිදෙනෙකු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ අද දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ. ජාත්‍යන්තර පොලිසිය සහ මැලේසියානු පොලිසිය හා එක්ව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදුකළ මෙහෙයුමකදී මොවුන් කොටු කරගත් අතර, මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දීමට නියමිතය.
අත්අඩංගුවට පත් වූ රත්මලානේ සයිමා, කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ සහ පාතාල ක්‍රියාකාරකම්වල ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස කටයුතු කර ඇත. කංජිපානිගේ මත්ද්‍රව්‍ය ජාලය හරහා විශාල ලෙස මුදල් උපයා ඇති සයිමා, තායිලන්තයේ පිහිටි පස්මහල් සුපිරි හෝටලයක් ඇතුළු තවත් ව්‍යාපාර රැසක හිමිකරුවෙකු බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සයිමා මෙලෙස අත්අඩංගුවට පත්වීමත් සමඟ මැලේසියාව තුළ කංජිපානි ඉම්රාන්ගේ පාතාල හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව වාර්තා වේ.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ වසන්ත පිටියකුඹුර යන මහත්වරුන් මීට සති කිහිපයකට පෙර මැලේසියාවට ගොස් ඇත්තේ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම සඳහාය. මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එරට පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගනිමින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම් අතරතුරදී ප්‍රධාන අපරාධකරුට පෙර ඔහුගේ සමීපතම සගයා වූ සයිමා කොටු කර ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.
තම ප්‍රධාන සගයා අත්අඩංගුවට පත් වූ පුවත සැලවීමත් සමඟ කංජිපානි ඉම්රාන් රහසිගතව සැඟව සිටි ස්ථාන කිහිපයක්ම මාරු කරමින් මැලේසියාව තුළ සැඟවී සිටින බව පැවසේ. මෙරටින් ගිය පොලිස් කණ්ඩායම මෙහෙයුම අතරමැදදී නැවත ශ්‍රී ලංකාවට පැමිණිය ද, මැලේසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව ඔහු අත්අඩංගුවට ගැනීමේ විමර්ශන අඛණ්ඩව සිදුකරයි. කංජිපානිට එරටින් පලා යාමට නොහැකි වන පරිදි මැලේසියාවේ සියලු ගුවන්තොටුපොළවල්, වරායවල් සහ රටින් පිටවීමේ මාර්ග සියල්ල මේ වන විටත් වසා දමා ආරක්ෂාව තර කර ඇත.
මෙරට පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ මෙම දැවැන්ත රහසිගත මෙහෙයුම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පූර්ණ සහයෝගය ලැබී තිබේ. එමෙන්ම විෂය භාර අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සමස්ත ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇත.