මහරගම නගර සභා පරිශ්‍රයේ පිහිටි මහජන පුස්තකාලය තුළ පාඩම් කරමින් සිටි උසස් පෙළ සිසුවියක, එහි නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දොරගුළු දමා යෑමෙන් පැය භාගයක පමණ කාලයක් සිරවී සිටීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නාගරික මන්ත්‍රිනි රසිකා ගුණසිංහ මහත්මිය (ශ්‍රීලපොපෙ) ඉල්ලා සිටියාය. ඉකුත් 07 වනදා පැවැති මහරගම නගර සභාවේ මාසික රැස්වීමේදී ඇය මෙම පුවත අනාවරණය කළාය.
ජාතික ජන බලවේගයේ සමන් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නගර සභා රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රසිකා ගුණසිංහ මහත්මිය සඳහන් කළේ, 17 හැවිරිදි මෙම සිසුවිය පුස්තකාලයේ ඉහළ මහලේ පාඩම් කරමින් සිට පහළට පැමිණෙන විට නිලධාරීන් දොර ජනෙල් වසා නිවෙස් බලා ගොස් තිබූ බවයි. එහි කිසිවකුත් නොසිටීම නිසා බියට පත් වූ සිසුවිය කෑගසමින් හඬා වැටී ඇති අතර, පාරේ ගමන් කළ ළමුන් දෙදෙනෙකුට එම ශබ්දය ඇසී නගර සභා සේවකයින් දැනුවත් කර ඇත. පසුව කම්කරුවන් දෙදෙනෙකු වහලයෙන් පුස්තකාලය ඇතුළට පැනීම නිසා සිසුවිය තවත් බියට පත්වී ඇති අතර, පසුව වෙනත් අයෙකු යතුරක් ගෙනැවිත් දොර හැර ඇයව එළියට ගෙන තිබේ. එම අවස්ථාවේදී එතැන සිටි කම්කරුවෙකු ඇයව වීඩියෝ කිරීම නිසා සිසුවිය දැඩි මානසික පීඩනයකට ලක්ව මුහුණ වසාගෙන සිටි බවත්, අදාළ නිලධාරීන් තමන්ගේ වගකීම් පැහැර හැර ඇති බවත් මන්ත්‍රීවරිය සභාවේදී ප්‍රකාශ කළාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නගර සභා සභාපති සමන් සමරකෝන් මහතා (ජාජබ), මේ පිළිබඳව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත්, අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන වාර්තා ලැබී ඇති බවත් පැවසීය. එම නිලධාරීන් අතින් වරදක් සිදුව ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර, මෙම සිදුවීම හේතුවෙන් මහරගම නගර සභා පුස්තකාලය දරුවන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවත්, දෙමාපියන් තම දරුවන් පාඩම් කිරීමට එහි එවීමට අකමැත්තක් දක්වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීනි කාන්ති කොඩිකාර මහත්මිය මෙහිදී අවධාරණය කළාය.